මෙරටින් නව මරණ 170 ක්
Thursday, 19 August 2021 - 9:05 | Views - 5,766

දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ නංවමින් ඊයේ මෙරටින් මරණ 170 ක් වාර්තා වුණා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 6,604 ක් ලෙසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට ඊයේ තහවුරු කරන ලද කොරෝනා මරණ 170 න් 130 ක්ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්.
ඊට පිරිමි පුද්ගලයන් 60 ක් සහ කාන්තාවන් 70 ක් ඇතුළත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට අමතරව අවුරුදු 30 ත් 59 ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් 40 දෙනෙකුද, මිය ගිය පිරිසට ඇතුළත්.
වයස අවුරුදු 60 ඉක්ම වූ පිරිස් වැඩි වශයෙන් මිය යාමට හේතුව ඔවුන්ට එන්නත් නොලැබීම බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ වයස අවුරුදු 60 ඉක්ම වූ යම්කිසි අයෙකු එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් එය ලබා ගැනීමට අවස්ථාව පවතින බවයි.
එමෙන්ම ඊයේ නව ආසාදිතයින් 3,676 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 369,359 ක් දක්වා ඉහළ ගියා.
ඊයේ වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් 3,660 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 16 දෙනකුද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.
ඒ අනුව තවදුරටත් පුද්ගලයින් 46,397 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 316,528 ක්.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ වෛද්‍ය තිලක් රාජපක්ෂට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව ගෙවුණු මාසයක කාලය තුළ කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හය දක්වා ඉහළ යනු ඇති.
එමෙන්ම කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය සහ එහි ආපනශාලා සියල්ල ඊයේ සිට වසා දමා තිබෙනවා.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට සහ සේවකයින්ට ආහාර පිටතින් ගෙන ඒමට තාවකාලිකව අවසරය ලබාදී ඇති බවයි.
ආහාරපාන පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට පෙර ඒවා දැඩි පරීක්ෂාවට ලක් කරන ලෙසද ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, සේවකයන් සහ මාධ්‍යවේදීන් ඇතුලු 275 දෙනෙකුට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කොරෝනා පරීක්ෂණ සිදු කෙරුණු අතර, පාර්ලිමේන්තුවේ විවිධ අංශවල සේවකයින් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව එහිදී හඳුනාගැනුනා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු අවම සේවකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වාගෙන යාමටයි තීරණය කෙරුණේ.
Share This Article