තවත් නගර කිහිපයක් වැසෙන හැටි
Wednesday, 18 August 2021 - 10:08 | Views - 4,149

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානමත් සමඟ වසංගතය පාලනය කිරිම සඳහා හැටන් කොටගල නගරය මේ මස(19) දින සිට (26) දින දක්වා වසා දැමිමට එම නගරයේ වෙළඳ සංගමය තිරණය කර තිබෙනවා.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශය තුළ මේ වනවිට විශාල පිරිසකට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවත් අසාදිතයන් අතරින් කිහිප දෙනෙකු මියගොස් ඇති බවත් වෙළඳ සංගමයේ සභාපතිවරයා කියා සිටියා.
කොටගල ප්‍රදේශයේ දී (17) දින පස්වරුවේ රැස් වූ එම වෙළඳ සංගමයේ සමාජිකයින් කොටගල නගරය සතියක කාලයක් වසා දැමීමට ඒකමතික ව තිරණය කළ බවත් වසා තැබෙන කාලය තුළ කොටගල ප්‍රාදේශිය සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින්ගේ සහයෝගය ලබාගෙන නගරය සම්පුර්ණයෙන් ම විෂබීජහරණය කිරිමට සැලසුම් කර ඇති බවත් කොටගල වෙළඳ සංගමයේ සභාපතිවරයා සඳහන් කළා.
කොරෝනා අවදානම හේතුවෙන් මීගමුව සහ කොච්චිකඩේ යන නගර ද හෙට සිට මේ මස 25 වනදා දක්වා වසා තැබීමට වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා.
වෙළඳ සංගම් නියෝජිතයන්, ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සහ මීගමුව නගරාධිපති දයාන් ලන්සා සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව යි මෙම තීරණය ගෙන ඇත්තේ.
එමෙන්ම අනිද්දා සිට දින 15ක කාලයක් සියඹලාණ්ඩුව නගරයේ සියලු ම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට ඊයේ රැස් වූ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.
පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ වැලිමඩ නගරයේ සියලු ම ව්‍යාපාරික ස්ථාන සහ ආයතන හෙට රාත්‍රි 10 සිට 26 වනදා අලුයම 4 දක්වා වසා තැබීමට යි වැලිමඩ එක්සත් වෙළඳ සංගමය තීරණය කර ඇත්තේ.
මීට අමතර ව කඹුරුපිටිය නගරයේ සියලු ම වෙළඳසැල් අනිද්දා සිට 25 වනදා දක්වා වසා තැබීමට ද තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ඖෂධ අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත ව තැබෙනු ඇති.
තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමට ඊයේ තීරණය කළේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ යි.
ඒ අනුව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ නගර විස්සක පමණ මේ වනවිිට වෙළඳසැල් වසා දමා තිබෙනවා.
පිටකොටුවේ වෙළදසැල් වසා තබන්නේ ද නැද් ද යන්න පිළිබද ව අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු තීරණය කරන බවටයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමයේ ලේකම් ජී.එස්. එලමිනාදන් ඊයේ ප්‍රකාශ කළේ.
මේ අතර ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරිභෝගික ජනතාවට භාණ්ඩ ලබාගැනීමේ ක්‍රමවේදයක් අද ආරම්භ වනවා.
නාරාහේන්පිට ආර්ථීක මධ්‍යස්ථානයේ දී මෙම වැඩසටහන ආරම්භ වන්නේ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
Share This Article