දෛනික වැඩිම කොරෝනා මරණ ඊයේ - සමස්තය 6,263යි
Tuesday, 17 August 2021 - 9:14 | Views - 2,659
මෙරට දෛනිකව සිදුවන කොරෝනා මරණවල ඉහළම අගය ඊයේ දිනයේදීත් වාර්තා වුණා. එම මරණ සංඛ්‍යාව 167ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 6,263 දක්වා ඉහළ ගියා.

වාර්තා වූ කොරෝනා මරණ 167න් 130ක් ම වයස අවුරුදු 60ට වැඩි අයයි. ඉන් 80 දෙනෙකු ම පිරිමි පුද්ගලයින් වන අතර, 50 දෙනෙකු කාන්තාවන් වනවා. මීට අමතරව වයස අවුරුදු 30ත්, 59ත් අතර වයස් සීමාවෙහි පුද්ගලයින් 36 දෙනෙකු ද කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ 6,263න් පිරිමි පුද්ගලයින් 3,624ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මීට අමතරව කාන්තාවන් 2,639 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම, තවත් කොරෝනා ආසාදිතයින් 3,466 ක් වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 362,074 දක්වා ඉහළ ගියා. ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 43,921 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 312,057ක්.

මේ අතර දැනට කොරෝනා ආසාදිතයින් වාර්තා වීම වැඩි වීමත් සමඟ ආසාදිතයින් නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමේ රජය විසින් ආරම්භ කළ ක්‍රමවේදයෙහි යම් යම් අඩුපාඩු පවතින බවත්, ඒවා විධිමත් ලෙස සකස් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ප්‍රකාශ කළා.

මේ අතර, පවතින තත්ත්වයත් සමඟ දැනට ස්ථීර හා තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය මේ වසරේ දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මස 1 වන දින සිට මේ වසරේ දෙසැම්බර් 31 වන දා දක්වා වයස අවුරුදු 70 සම්පූර්ණ වූ හෝ සම්පූර්ණ වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන්, මාර්තු 31 වන දිනෙන් පසු මුල් පත්වීම් කාලසීමාව හෝ සේවා දීර්ඝය අවසන් වී ඇති නමුත් සේවා දීර්ඝ කිරීම මෙතෙක් ලැබී නොමැති හදිසි මරණ පරීක්ෂකවරුන් ද ඊට අයත්. එමෙන්ම, මේ වසරේ අවසන් වීමට ප්‍රථම දිනක දී මුල් පත්වීම් කාලසීමාව හෝ සේවා දීර්ඝය අවසන් වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ද සේවා කාලය ඒ අනුව දීර්ඝ වනු ඇති. කෙසේ වෙතත්, විනය හේතුන් හෝ වෙනත් හේතූන් මත සේවා දීර්ඝ ලබා නොදෙන බවට ලිඛිතව අධිකරණ අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇති හදිසි මරණ පරීක්ෂකවරුන් සම්බන්ධයෙන් මෙම සේවා දීර්ඝ කිරීම අදාළ නොවන බව ද අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ අතර, මුහුණු ආවරණ හා සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දී තිබුණත් ඇතැම් පුද්ගලයින් ඒවා නොසලකා කටයුතු කිරීම හේතුවෙන් සෞඛ්‍යමය සහ පාරිසරික වශයෙන් එල්ල වී ඇති බලපෑම වැඩි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

වැල්ලවත්ත මුහුදු වෙරළට මෙන්ම අවට සාගරය අපවිත්‍ර වන අයුරින් කිසියම් අයෙකු, පිරිසක් හෝ ආයතනයක් සායනික අපද්‍රව්‍ය වැල්ලවත්ත වෙරළ තීරයට මුදා හැර ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි බත්තරමුල්ලේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මීට අමතරව ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත විෂබීජනාශක කුඩා බහාලුම් පරිසරයට මේ වන විට වැඩි වශයෙන් මුදා හැරුණු බවට ද ඔහු එහි දී කියා සිටියා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top