අද සිට සති දෙකක් කැකිරාවේ වෙළඳසැල් වැසේ
Sunday, 15 August 2021 - 16:33 | Views - 22,679

අද (15) සිට ලබන 27 වනදා දක්වා කැකිරාව නගරයේ වෙළඳසැල් වසා තැබීමට එම නගරයේ වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා.
ඒ ප්‍රදේශය ආශ්‍රිතව පවතින කොවිඩ් අවධානම සැලකිල්ලට ගනිමින්.
අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රාදේශීය කොවිඩ් කමිටුව අද දහවල් රැස්වූ අවස්ථාවේදී වෙළඳ සංගම් මෙම තීරණයට එළඹ ඇති බවයි.
කෙසේවෙතත් ජනතාවට අත්‍යවශ්‍ය වන ඖෂධ අලෙවිසැල් වෛද්‍ය රසායනාගාර සහ ඉන්ධන පිරවුම්හල් විවෘතව පවතින බවයි කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියාසිටියේ නගරය අවටින් හමුවන ආසාදිතයන් ගණන ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි.
ආසාදිත පොකුරු හමුවීමේ ප්‍රවණතාවක් ඇති බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.
මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් තවත් ප්‍රදේශ කිහිපයක වෙළෙඳ සංගම් ඉදිරි කාලය තුළ වෙළඳසැල් වසා තැබිමට තීරණය කර තිබෙනවා.
මරදගහමුල ව්‍යාපාර සංගමයේ සභාපති බී.කේ. රංජිත් සඳහන් කළේ ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් හෙට (16) සිට සතියක කාලයක් ඔසුසැල් හැර අනෙක් සියලු වෙළඳසැල් වසා තැබෙන බවයි.
මේ අතර අද (15) සිට අම්බලන්තොට නගරයේ සියලු වෙළඳසැල් සතියක කාලයක් වසා තැබෙන බව ද එම නගරයේ වෙළඳ සංගමය ඊයේ ප්‍රකාශ කළා.
නගරය හා අවට ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තාවීම හේතුවෙනුයි ඔවුන් මෙම තීරණයට එළඹ ඇත්තේ.
එම ප්‍රදේශවල කොරෝනා වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බැවින් ජනතාව නිරන්තරයෙන් නගරයට පිවිසීම හමුවේ අනෙක් ජනතාව ද අවදානමකට ලක්වන බව වෙළඳ සංගමය පෙන්වා දෙනවා.
මෙම තීරණය සතියක කාලයක් ක්‍රියාත්මක කරන අතර ඉදිරියේදී රටේ තත්වය සලකා බලා නගරයේ වෙළඳසැල් විවෘත කිරීමට හෝ තවදුරටත් වසා තැබීමට කටයුතු කරන බවයි අම්බලන්තොට වෙළඳ සංගමයේ ලේකම් ඒ.එච්. ප්‍රේමචන්ද්‍ර කියාසිටියේ.
මේ අතර පලාපත්වල එක්සත් වෙළඳ සංගමය ද පසුගියදා තීරණය කළේ එම නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමටයි.
ත්‍රී රෝද රථ සංගමයේ රියදුරන් කිහිප දෙනෙකු මෙන්ම වෙළඳසැල් කිහිපයක සේවකයන් ඇතුලු පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙනුයි ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ.
Share This Article