පාරිභෝගික අධිකාරිය ප්රතික්ෂේප කෙරූ - ඉහළ දමන කිරිපිටි මිල
Monday, 09 August 2021 - 10:11 | Views - 738
ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් මෙරට කිරිපිටි මිල ඉහළ නංවන ලෙස තමන් කිහිප විටක් ම සිදුකළ ඉල්ලීම් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්රතික්ෂේප කරනු ලැබූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සම්මේලනය පවසනවා.
එහි කමිටු සාමාජික ලක්ෂ්මන් වීරසුරිය සඳහන් කළේ මේ නිසා සිය ආනයනයන් සීමා කිරීමට සිදු ව ඇති අතර, ඒ හේතුවෙන් වෙළඳපොලේ කිරිපිටි හිඟයක් මතු ව ඇති බවයි.
මෙරටට ආනයනය කරන කිරිපිටි සඳහා වන පිරිවැය ඉහළ යෑමට නැව් ගාස්තු ඉහළ යෑම සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම ද හේතු වී තිබෙනවා.
ලෝක වෙළඳපොලේ කිරිපිටි කිලෝවක මිල අමෙරිකානු ඩොලර් 4යි 20 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ නිසා රජයේ පාලන මිලට කිරිපිටි විකිණීමේ දී කිලෝවකින් රුපියල් 270ක පාඩුවක් සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සම්මේලනයේ කමිටු සාමාජික ලක්ෂ්මන් වීරසුරිය සඳහන් කළා.
මෙරට දෛනික කිරිපිටි පාරිභෝජනය මෙට්රික් ටොන් 250ක් පමණ වනවා.
මේ අනුව සෑම මසක ම කිරිපිටි ආනයනකරුවන්ට රුපියල් මිලියන 1500ක පාඩුවක් සිදුවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article