රාජ්‍ය සේවකයන් අද සිට සාමාන්‍ය පරිදි සේවයේ
Monday, 02 August 2021 - 9:44 | Views - 586

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අද (02) සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි වෙත කළ දැනුම්දීමට අනුවයි.
කොරෝනා පාලනය පහසු කිරිම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරි කිරීමට අදාළව නිකුත් කර ඇති සියලු චක්‍රලේඛ අවලංගු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මීට පෙර දැනුම් දී තිබුණා.
ඒ අනුව, සියලු පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද අද (02) සිට සේවයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා දැනුම් දී තිබෙනවා.
මීට අමතරව, සියලුම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප හා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලවල නිලධාරින් මෙන්ම කාර්ය මණ්ඩලය ද සේවයට වාර්තා කළ යුතු බවටයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ.
කෙසේවෙතත් ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වන තත්ත්වයක් යටතේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසල් වෙත පැමිණීමෙන් වැළකී සිටින බව වර්ජනයේ නිරත ගුරු සංගම්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.
ගැබිණි මව්වරුන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත්වුවහොත් ඒ පිළිබඳව සලකා බැලීමක් සිදුකරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි සඳහන් කළා.
මේ අතර සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට කැඳවීමත් සමඟ පළාත් අතර සංචරණයේදී බාධාවකින් තොරව ඔවුන්ට රාජකාරි ස්ථාන වෙත වාර්තා කිරීමට කටයුතු සළසා දෙන ලෙස සියලු පොලිස් ස්ථාන වෙත ඊයේ (01) දිනයේ නියෝගයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
කෙසේ වෙතත් යම් අවස්ථාවකදී අදාළ රාජකාරි ස්ථානයේ සේවය කරන බවට සනාථ කිරීමට අවශ්‍ය හැඳුනුම්පත් හෝ ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියහොත් ඒ සඳහා කාරුණිකව කටයුතු කරන්නැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියා.
Share This Article