මං හිතුවේ කම්බියක් කියලා...
අනේ මේ මූණ හැබැයින් කවදා දකින්නද...?
දිවා කල ගිනියම් වූ දෙරණ සිසිල් කරන්නට මෙන් වෙනදාටත් වඩා මහත් වේගයෙන් සිසිල් සුළං ගොඩබිම වෙත හමා එමින් තිබුණේය. සුළඟට හසුවුණු සුවිසල් සරුංගලයක්ද නූලෙන් මිදී බිමට පතිත වෙමින් තිබිණි.
වේගයෙන් පැමිණි යතුරුපැදිය පදවාගෙන ආ රියැදුරා තම ගමන් මඟ හරස් කළ සරුංගල් නූල ඉවත් කරද්දීම යතුරුපැදිය මහ හඬක් නංවමින් පෙරළී ගියේය.
අනතුරෙන් ගාල්ල, ගිංතොට, පියදිගම පදිංචිව සිටි මේනකා ප්‍රසාදිනී (34) හා ඇයගේ බාල පුතණුවන් වූ එච්. රනුක රන්දුල් යන දෙදෙනා මෙලොව හැර ගියහ. යතුරුපැදිය පැදවූ මියගිය මේනකාගේ සැමියා වූ එච්. සුරංග සහ ඔවුන් දෙපළගේ වැඩිමහල් පුතණුවන් වූ එච්. නෙතුක පැහැදුල් තුවාල ලැබූහ.
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ බූස්ස, පිටිවැල්ල ප්‍රදේශයේ සිදුවූ මේ මාරක අනතුර හදවත් කම්පා කළේය.
රතුවන් ලේ සුදුවන් කිරට නංවා සෙනෙහසින් හදන වඩන අම්මාද දහඩිය කඳුළු වගුරා පෝෂණය කරන තාත්තාද දරුවකුට කිසිදිනක අමතක කළ නොහැකිය. මියගිය මේනකාටද නිතර මවුපියන් සිහිවිය. මීට හත් වසරකට පමණ පෙර සුරංග සමඟ නව දිවි මඟට එළඹව අලුත් කැදැල්ලකට පිටව ගියද ඇය හැකි හැම වේලාවේම මවුපියන්ගේ දුක සැප සොයා බැලුවාය.
නොසිතූ මොහොතක මෑතකදී ඇගේ පියා මෙලොවින් සමුගත්තේය. ඇය මහත් කම්පාවට පත්කළ මේ විපත සිදුවී තුන්මසක් ගතවූයේ නැත. නිවෙසේ තනි වූ අම්මාගේ දුක සැප වෙනදාටත් වඩා සොයා බැලුවේ මේ නිසාය. ආදරණීය සුරංගගේ සහායද මේ සඳහා ලැබී තිබිණි.
'සුරංග අපි අද අම්මා බලන්න යමු' මේනකා යෝජනා කළාය.
බිරියට දැඩිව ආදරය කළ සුරංග ඇගේ අදහස් හා යෝජනාවලට නිතර සවන් දුන්නේය.
තමාට හුරු පුරුදු යතුරුපැදිය ගත් සුරංග පොඩි පුතා ඉදිරියෙන් නංවා ගත්තේය.
බිරිය සහ ලොකු පුතා පසුපසින් නංවා ගත්තේ ආදරණීය ගමනක් යනු පිණිසය. හැඬලය අත ගා එයට වැඳ යතුරුපැදිය පණ ගැන්වූ සුරංග ඉදිරියට ඇදුණේය. ටික දුරක් යන විට "අනේ සුරංග. ඇයි අපි මේ පාරෙන් යන්නේ. ප්‍රධාන පාරෙන් යමු' යැයි බිරිය යෝජනා කළාය.
සුරංග දෙපාරක් හිතුවේ නැත.
"ඔයා කියනව නම් අපි ඒ පාරෙන් යමු"යි කී ඔහු ගාල්ල - කොළඹ මාර්ගයට යෑමට යතුරුපැදිය නැවත හැරෙව්වේය.
මේ වූ බාධාව තමන්ගේ දිවි ගමනට හරස් වේ යැයි ඔවුන් කිසිවිටකත් සිතුවේ නැත.
දරුවෝ දෙදෙනා දැල්වුණු විදුලි බුබුළු නරඹමින් එකිනෙකාට පෙන්වමින් ගමනට එක්ව සිටියහ.
සයුරු රළ නැඟෙන බිඳෙන හඬද අඩු නොවීය. සුළඟද වේගයෙන් හමා යමින් තිබුණේය.
සුරංග සිය බිහිසුණු අනතුර ඔහුගේ වචනවලින්ම මෙසේ කීය.
"සරුංගල් නූල මගේ බයිසිකලේ ඉදිරියට එනකොට මම හිතුවේ කම්බියක් කියලා...
මගේ දරුවගේ බෙල්ල කැපෙන නිසා මම එක පාරටම ඒක අතින් අල්ලලා ඉවත් කරන්න හැදුවා. එතකොටම යතුරුපැදිය වේගයෙන් පෙරළුණා..."
"අනේ සුරංග " කියලා බිරිය වේදනාවෙන් කතා කළා. එයා ලේ විලක් මැද වැටී තිබුණා. පොඩි පුතාගෙත් මූණ පුරාම ලේ තිබුණා.
මම දරුවො දෙන්නම අත් දෙකට ගත්තා...
අනිත් අයගෙන් උදව් ඉල්ලුවා.
මම ලොකු පවක් කරලා ඇති මගේ ඇස් දෙක ඉස්සරහම බිරියයි, දරුවයි නැති වුණා" සුරංග එතෙක් තද කරගෙන සිටි කඳුළු මුදා හැරියේය.
අනතුරෙන් අනූනවයෙන් බේරුණු සුරංගගේ අත්වලට හා පාදවලට තුවාල සිදුව තිබිණි. වෙළුම් පටිවලින් බැඳ තිබුණු තුවාල කීපයක්ම විය.
වැඩිමහල් පුතණුවන්ගේද මුහුණට සහ එක් අතකට තුවාල සිදුවී තිබිණි.
තුවාලවලට ප්‍රතිකාර ලැබූ පුතා නිවෙසට පැමිණියේය. දරුවා වඩාගත් සුරංග ඔහු සිඹිමින් හඬන්නට විය.
"මට ඉතිරි වුණේ පුතේ ඔයා විතරයි..." සුරංග ඉකිබිඳිමින් කීවේය.
සුරංගගේ මව සහ මේනකාගේ මව මුනුපුරා අතට ගත්තේ මහත් ආදරයෙනි. දරුවා අසන ප්‍රශ්න අති සංවේදී විය.
මියගිය දෙදෙනාගේ දේහයන් පසුගියදා නිවෙසට රැගෙන එන ලදී. විලාප හඬ අඩු නොවීය.
සිය මවගේ දේහය අසල කුඩා පෙට්ටියක තිබූ පොඩි පුතුගේ දේහය දුටු කාගේත් දෙනෙත කඳුළින් තෙත් විය.
මියගිය මේනකා ගිංතොට මහ විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ දියණියකි. දරුවන් දෙපළට අසමීතව ආදරය කළ මවක් බව ඇගේ සහෝදරියක් පැවැසුවාය.
"කවදා හරි දරුවො දෙන්නට හොඳට උගන්වලා හොඳ තැනකට ගේන්න ඕනේ" සුරංග වගේ හොඳ සැමියෙක් ලබන්න මම ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ... තාත්තා වගේම දරුවො දෙන්නත් හොඳට හදා ගන්න" මේ මේනකාගේ මුවින් පිටවූ වදන් බව ඇගේ සහෝදරිය තවදුරටත් කීවාය.
ඇය මේනකාගේ රාමු කළ ඡායාරූපයක් අපට ගෙනවිත් පෙන්නුවාය.
"අනේ මේ මූණ හැබැයින් කවදා දකින්නද?" පවසමින් සුරංග නැවත හඬන්නට වූයේය.
මේ කැදැල්ල ආදරයෙන් හා ආදර්ශයෙන් අඩු නොවීය. සුරංගගේ මව පවසන්නේ මේනකා තම කුසින් බිහිකළ දුවක මෙන් තමන්ටද පුදුම ආදරයකින් සිටි බවය. ඥාතීන්ටද, අසල්වාසීන්ටද අඩු නැතිව ආදරය සෙනෙහස පිදූ බවය.
සුරංග සහ මේනකා ගමේ පොදු වැඩකටයුතුවලදී පෙරමුණ ගෙන ක්‍රියා කළ බව ගමේ බොහෝ දෙනා කීහ.
මල් වඩම්, ශෝක සුසුම් අඩු නොවුණේ මේ දෙදෙනා මුදල්වලට වඩා මිනිසුන් හරි හම්බ කරගත් නිසාය. යන එන හැම දෙනාම කතා කළේ මේ දෙදෙනාගේ ගුණයහපත්කම් ගැනය. අහිංසක, නිහතමානීකම ගැනය.
ඔවුහු පසුගිය දිනක බොහෝ දෙනාගේ සෝ සුසුම් මැද ගාල්ල, දඩැල්ල පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියහ.
දැන් සියල්ල සිදුවී අවසානය. සරුංගල් නූලක සැඟව සිටි මරුවා ආදරණීය මවක් මෙන්ම හයක් හතරක් නොදත් මල් කැකුළක් රැගෙන ගොසිනි. සැඟව සිටින මරුවා කොයි මොහොතේ කුමන ආකාරයෙන් ජීවිත උදුරා ගනීදැයි කිව නොහැකිය. එබැවින් වඩ වඩාත් විමසිලිමත් වීමට හා ආරක්ෂාකාරී වීමට වගබලා ගත යුතුව ඇත.