බිරිඳ විසින් සැමියාගේ පරිගණකයේ ඇති දත්ත, ලේඛන, කෙටි පණිවුඩ හෝ පරිගණකයේ ගබඩා කර ඇති වෙනත් තොරතුරු රැස්කිරීම වළක්වාලමින් ගල්කිස්ස දිසා අධිකරණය නියෝගයක් නිකුත් කළා.
ඒ තම බිරිඳ තමන් නිවසේ නොසිටි අවස්ථාවන්හිදී තම පුද්ගලික පරිගණකයට නීතිවිරෝධී ලෙස ප්‍රවේශ වී ඇති බවට චෝදනා කරමින් සැමියකු විසින් ගල්කිස්ස දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබු පැමිණිල්ලක් විභාගයට ගනිමින්.
මෙහිදී සැමියා චෝදනා කර ඇත්තේ සිය බිරිඳ තම පරිඝනකයේ තිබූ විවිධ තොරතුරු බාගත කර තමන්ගේ දුරකථන සංවාද ද රහසේ පටිගත කර ඇති බවයි.
මේ සඳහා ඔහුගේ කාමරයේ ශ්‍රව්‍ය නිරීක්ෂණ උපකරණයක් ද සවි කර ඇති බව මෙහිදී හෙළි වුනා.
කාමරය වසා තිබියදී එයට ඇතුළු වීමෙන් සහ ක්‍රියා විරහිත කර තිබූ පරිගණකයට බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් තමාගේ පෞද්ගලිකත්වය පිළිබඳ සාධාරණ අයිතීන් උල්ලංඝනය වී ඇති බවත්, විශ්වාසය කඩවීමක් සිදුව ඇති බවටත් පැමිණිලිකරු චෝදනා කළා.
මෙහිදී පැමිණිලිකරු කියා සිටියේ මේ වන විට තමන්ගෙන් වෙන්ව ජීවත් වන බිරිඳ තම පෞද්ගලිකත්වයට හානියක් වන අයුරින් කටයුතු කර ඇති බවයි.
නීතිවිරෝධී සහ කිසිදු අවසරයකින් තොරව තොරතුරු එක්රැස් කිරීම සඳහා බිරිඳ සිය පරිගණකයට ප්‍රවේශවීම පරිගණක අපරාධ පනතේ අංක 3 සහ 4 වගන්ති යටතේ බරපතල වරදක් වන බවයි පැමිණිලිකරු ප්‍රකාශ කරන්නේ.
අදාළ පැමිණිල්ල ගොනු කළ සැමියා කොළඹ ප්‍රදේශයේ රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස සේවය කරන අතර ඔහුගේ බිරිඳ උතුරු පළාත් රජයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරනවා.
මෙම දිසා අධිකරණයේ මේ දෙදෙනා ගොනු කල දික්කසාද නඩුවක් ද විභාගයට ගැනෙනවා.
ගල්කිස්ස දිසා අධිකරණය ලබා දුන් මෙම නියෝගය ජූලි 20 දක්වා ක්‍රියාත්මකයි.