ඇඟ හිරිවට්ටන ඩෙල්ටාවේ ඇත්ත මෙන්න
Saturday, 03 July 2021 - 14:43 | Views - 5,200
යුරෝපය ඇතුළු බොහෝ රටවල කොවිඩ්  වසංගතය පසුගිය දිනවල යම් දුරකට සමනය වී තිබුණත් දැන් නැවතත් එය කණපිට හැරෙන්නට පටන්ගෙන ඇති බව වාර්තා වෙයි. මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ මුල්වරට ඉන්දියාවෙන් සොයා ගැනුණු ඩෙල්ටා වයිරස ප්‍රභේදය මේ වනවිට ලෝකය ආක්‍රමණය කරමින් සිටීමයි. මේ වෙද්දී රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකින් මෙම ප්‍රභේදය වාර්තා වී ඇති බව පැවැසේ. 

පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ තව සති කිහිපයක් ඇතුළත එය සෙසු සියලු ප්‍රභේද යටපත් කරමින් ලෝකයේ ප්‍රධාන ප්‍රභේදය බවට පත්වනු ඇති බවය. මෙය කලින් පැතිරුණු ප්‍රභේද සියල්ලට වඩා වේගයෙන් පැතිරෙන ප්‍රභේදයක් වන අතර එය ආසාදනය වන රෝගීන්ගේ තත්ත්වය බරපතළ වීමට මෙන්ම ඔවුන් මිය යෑමට ද වැඩි ඉඩක් තිබේ. පසුගිය කාලයේ ඉන්දියාව තුළ අතිශය බිහිසුණු සහ දුක්මුසු තත්ත්වයක් ඇති කරන්නට ප්‍රධාන වශයෙන් දායක වූයේද  මෙම ඩෙල්ටා ප්‍රභේදයයි. මෙම ප්‍රභේදය ලෝකයේ ප්‍රධාන ප්‍රභේදය බවට පත්වුවහොත් එය මහත් අනතුරුදායක තත්ත්වයක් මතු කරනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලෝකයේ බොහෝ රටවල තවමත් අති විශාල ජනතාවක් එන්නත් කර නොමැති පසුබිමක් තුළ කුමකින් කුමක් සිදුවනු ඇත්දැයි නිශ්චිතව පැවසීම අසීරුය. මේ නිසා සියලු රටවල ජනතාව තවදුරටත් මුව ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය, සංචරණ සීමා ආදී ආරක්‍ෂක පියවර කෙරේ දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවද, ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්‍ෂණ, ආශ්‍රිතයන් හඳුනා ගැනීම වැනි කටයුතු කාර්යක්ෂමව පවත්වා ගත යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
 
ගෙවී ගිය මාස දෙකක පමණ කාලය තුළ  යුරෝපයේ කොවිඩ්  වසංගත තත්ත්වය බොහෝ දුරට පාලනය වී තිබිණි. නමුත් මේ වනවිට එම රටවල ද නැවතත් නරක තත්ත්වයක් වාර්තා වීමට පටන්ගෙන තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එම කලාපයේ තවත් රැල්ලක් ඇති වීම බොහෝ දුරට වැළැක්විය නොහැකි වනු ඇති බවය. එක්සත් රාජධානිය තුළ අලුතෙන් වාර්තා වන ආසාදිතයන්ගෙන් සියයට 90ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බව සඳහන්වේ. එරට දැනටමත් ප්‍රධාන ප්‍රභේදය බවට එය පත්ව අවසන්ය. එහි කලින් පනවා තිබූ සංචරණ සීමා පසුගිය දිනවල ලිහිල් කිරීමට සැලසුම් කර තිබුණත් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ එය ද කල් දැමීමට බලධාරීන්ට සිදු විය. ඇමෙරිකාව තුළ ද නැවතත් තර්ජනයක් මතු කිරීමට මෙම වයිරස ප්‍රභේදයට හැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් එරට ප්‍රධාන පෙළේ වසංගතවේදියකු මෙන්ම ධවල මන්දිරයේ සෞඛ්‍ය උපදේශකවරයා ද වන වෛද්‍ය ඇන්තනි ෆවුසි  සඳහන් කර තිබුණේ වසංගතය මර්දනය කිරීමට ඇමෙරිකාව ගෙන යන වැඩපිළිවෙළට එල්ල වී ඇති ලොකුම තර්ජනය ඩෙල්ටා ප්‍රභේදය බවයි. 
 
ආසියානු රටවලට ද මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය අලුත් තර්ජනයක් එල්ල කර තිබේ. නිදසුනක් ලෙස ඉන්දුනීසියාවේ තත්ත්වය පෙන්වා දිය හැකිය. පසුගිය දිනවල 21,000කට වැඩි දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් එරටින් වාර්තා වී තිබූ අතර ජනවාරි - පෙබරවාරි මාසවල වයිරසය ව්‍යාප්ත වූ වේගයට වඩා වැඩි වේගයකින් මෙවර වයිරසය පැතිරෙමින් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය බුදි ගුනාදි සඳහන් කර තිබිණි.  ඇතැම් ප්‍රදේශවල රෝහල්වල දැඩි තදබදයක් ඇති වෙමින් තිබෙන බව ද වාර්තාවේ. බංග්ලාදේශය, මැලේසියාව වැනි  රටවල ද ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබිණි.
 
මේ අතර අප්‍රිකානු කලාපයේ ද දරුණු තත්ත්වයක් වාර්තා වෙමින් තිබේ. මේ වනවිට අප්‍රිකානු රටවල් රැසක දැකිය හැකි වන්නේ 2020 කොවිඩ්  වසංගතය ආරම්භ වීමෙන් පසු දක්නට ලැබුණු දරුණුම තත්ත්වයයි. එම රටවල එන්නත්කරණ වැඩසටහන් ද ඉතා දුර්වල මට්ටමක පැවතීම තත්ත්වය තවත් බැරෑරුම් බවට පත් කරන්නකි. “අප්‍රිකාවේ තුන්වැනි රැල්ලේ වේගවත් බව සහ පරිමාණය මෙයට පෙර කිසි විටෙක දක්නට නොලැබුණු ආකාරයේ එකක්’ යයි පවසා තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපයේ අධ්‍යක්ෂ වෛද්‍ය මත්ෂිදිසෝ මොඒතිය. එම කලාපය තුළ ඇතිව තිබෙන මෙම දරුණු තත්ත්වයට ද වගකිව යුත්තේ ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු නව ප්‍රභේද බව පෙන්වා දී තිබේ. සෑම සති තුනකට වරක්ම ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණ වීමේ තත්ත්වයක් එහි දැකිය හැකි බව වාර්තාවේ.
 
මේ සියල්ල තුළින් පෙනී යන්නේ කොවිඩ්  වසංගතය ආරම්භ වී වසර එකහමාරකට වැඩි කාලයක් ගතව ඇතත් තවමත් එහි අවසානයක් ගැන සිතාගත හැකි  වාතාවරණයක් ඇති වී නොමැති බවයි.
 
සනත් වික්‍රමගේ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top