තවත් ඩෙල්ටා ආසාදිතයන් වාර්තාවීමේ අවදානමක්
Wednesday, 30 June 2021 - 13:24 | Views - 3,304

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් යැයි සැකසහිත පුද්ගලයින් තවදුරටත් වාර්තා විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
මේ අතර, රජයේ රෝහල් මගින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ වැඩසටහන අද ආරම්භ වුණා.
ගෙවුණු දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 1,717ක් හඳුනාගනු ලැබුවා.
ඉන් 08 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන් වන අතර සෙසු 1,709 දෙනා අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයන්.
ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 348 ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 280ක් වාර්තා වුණා.
කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 198ක්.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 113 ක්.
මේ අතර, වාද්දූව - ලෙද්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ භික්ෂූන්වහන්සේ 26 දෙනෙකු සහ ගිහි පුද්ගලයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ආසාදිතයින් ඊයේ රාත්‍රියේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැණුනා.
හික්කඩුව මලවැන්න ප්‍රදේශයේ එකම පවුලේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
මෙරට තුළ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම පාලනය කර ගැනීම සඳහා ජනතාවගේ සහය අවශ්‍ය බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 16,998 ක්.
මේ අතර, රජයේ රෝහල්වලින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල අද ආරම්භ වුණා.
ඒ අනුව එම වැඩසටහනේ පළමු අදියර බස්නාහිර පළාතේ රෝහල් 45 කදී අද සහ හෙට දිනවල ක්‍රියාත්මක කෙරෙනවා.
ඊට කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් 18ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 17 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් 10 ක් අයත්.
මේ අතර, කොළඹ මහ නගරසභා සීමාවේ වෙසෙන කොවිෂිල්ඩ් එන්තතේ පළමු මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින් සඳහා එම එන්නතේ දෙවැනි මාත්‍රා ලබාදීම අදත් ක්‍රියාත්මකයි.
ගෙවුණු දින දෙකේදී එම වැඩසටහන යටතේ ලබාදුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 2,885 ක්.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන්ට පසුගිය 27 වැනිදා කොරෝනා එන්නත් ලබාදීමෙන් අනතුරුව ඊට පසුදින ඔවුන් සේවයට පැමිණීමෙන් අනතුරුව ඇතිවූ ක්ලාන්ත තත්ත්වයක් මත සේවකයින් 90 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කෙරුණු ඔවුන් පැයක පමණ කාලයක් ඇතුළත යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් යළිත් රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, එම එන්නත් ලබාදීම සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.
Share This Article