පානදුර සිට මීගමුව දක්වා වන මුහුදේ තවදුරටත් ධීවර කටයුතු තහනම්
Wednesday, 30 June 2021 - 12:59 | Views - 578

පානදුර සිට මීගමුව දක්වා වන මුහුදේ තවදුරටත් ධීවර කටයුතු සිදුනොකරන ලෙසට ධීවර දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දෙනවා.
ඒ පසුගියදා මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සොයා බැලීම සඳහා ඉන්දීය නෞකාවක් මගින් සාගර පතුලේ කිමිඳුම් කටයුතු සිදුකිරීම හේතුවෙන්.
මෙම ඉන්දීය නෞකාව පසුගිය 25 වනදා කොළඹ වරායට පැමිණියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට මුහුදු සීමාට සිදුවූ හානිය විශ්ලේෂණය කර වාර්තාවක් ලබාදීම සඳහායි.
ඒ අනුව, ඔවුන් පසුගිය 26 වනදා පස්වරුවේ නාවික හමුදාව සමග එක්ව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට මුහුදු කලාපයට සිදුවූ හානිය විශ්ලේෂණය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා.
එමගින් මීගමුවේ සිට පානදුර දක්වා සාගර පතුලේ කිමිදුම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ පසුගිය 28 වනදා සිටයි.
එය ලබන 2 වනදා දක්වා සිදුකෙරෙන අතර, මේ හේතුවෙන් එම මුහුදු සීමාවේ ධීවර කටයුතු වල යෙදීමෙන් වළකින ලෙසයි ධීවර දෙපාර්තමේන්තුව, ධීවර ජනතාවට දැනුම් දෙන්නේ.
මීගමුවේ සිට පානදුර දක්වා වන මුහුදු සීමාව ධීවර කටයුතු සඳහා මේ වනවිටත් තහනම් කර තිබෙනවා.
මෙම ඉන්දීය නෞකාව මේ දක්වා සිදුකළ විශ්ලේෂණවලට අනුව සාගර පතුලේ අපද්‍රව්‍ය වර්ග 54 ක් සොයා ගෙන ඇති බව සඳහන්.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූයේ පසුගිය මැයි මස 19 වනදායි.
මෙම නෞකාව ගිනි ගැනීමෙන් මෙරට මුහුදු කලාපයට හානි සිදුවූ අතර, මේ හේතුවෙන් මියගිය කැස්බෑවන් සහ මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් පසුගිය දින කිහිපය තුලදීම වෙරළ තීරයට ගොඩගසා තිබුණා.
ඊයේ දිනයේදීත් මඩකලපුව - ඔන්දාච්චිමඩම් වෙරළතීරයට මියගිය කැස්බෑවෙකු ගොඩගසා තිබූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article