එන්නත් කමිටුවෙන් තවත් විශේෂඥයෙකු ඉල්ලා අස්වෙයි
Tuesday, 29 June 2021 - 14:21 | Views - 849

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා අස් වී තිබෙනවා.
එම කමිටුව සඳහා චීනයේ නිෂ්පාදනය කෙරෙන සිනොවැක් කොරෝනා එන්නත සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම මේ වනවිට පැවරී ඇති කාර්යයක්.
එවැනි පසුබිමක එම කමිටුවේ සාමාජිකයෙකු වූ මහාචාර්ය ඒ.පත්මේෂ්වරන්ද මීට දෙසතියකට පමණ පෙර ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වුණේ.
චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත සම්බන්ධයෙන්ද පත්කළ එන්නත් කමිටුවට මීට පෙර පැවති එන්නත් කමිටුවේ සාමාජිකයින් 08 දෙනාගෙන් 07 දෙනෙකු පත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පසුගියදා කටයුතු කර තිබුණා.
ඊට අමතරව එන්නත් කමිටුවට අලුතින් සාමාජිකයින් තුන් දෙනෙකුද නම් කිරීමටයි ඔහු පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, නව කමිටුවටද නම් කර සිටි පැරණි එන්නත් කමිටුවේ සිටි මහාචාර්ය නීලිකා මලවිගේ සහ මහාචාර්ය ඒ.පත්මේෂ්වරන් ඉල්ලා අස් වී ඇති බවයි මේ වනවිට වාර්තා වන්නේ.
මේ අතර, මෙරටින් ඊයේ වාර්තා කොරෝනා ආසාදිතයින් 1,890 දෙනා අතරින් 1,850 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින්.
එම ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාව වූ 337 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබුණා.
කළුතර දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් 268ක් වාර්තා වූ අතර ඉන් අඩකටත් වැඩි සංඛ්‍යාවක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයක්.
ඒ අනුව එම ප්‍රදේශයෙන් ආසාදිතයින් 143 හඳුනාගෙන තිබුණා.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 198 ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් ඊයේ 194 දෙනෙකු පමණක් වාර්තා වීමද විශේෂත්වයක්.
මේ අතර, කහතුඩුව ප්‍රදේශයෙන් හමුවූ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට සැකසහිත කොරෝනා රෝගියා මීට පෙර හඳුනාගත් අදාළ වෛරස් ප්‍රභේදය ආසාදනය වී තිබූ රෝගීන් සමඟ එක් සේවා ස්ථානයක කටයුතු කළ පුද්ගයෙක් බවට හදුනා ගෙන තිබෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මේ බව තහවුරු කළා.
මේ අතර, විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 40 දෙනෙකුද ඊයේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.
එසේම, පසුගිය දින 14 ක කාලය තුළදී සෞදි අරාබිය ඇතුළු රටවල් 06 ක සංචාරය කර ඇති මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ සෞදි අරාබියට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමාන් සහ බහරේන් යන රටවල පසුගිය දින 14 ක කාලය තුළ සංචාරය කළ පුද්ගලයින්ට ජූලි 01 වැනිදා සිට 14 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම තහනම ක්‍රියාත්මක බවයි.
කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 69,919 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 30,966 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.
එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 37,812 දෙනෙකුට ලබාදී තිබෙනවා.
එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පුද්ගලයින් 1141 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 159,6487 ක් වන අතර, එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 551,007 ක්.
එසේම, කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 374,040 කට ලබාදී තිබෙනවා.
ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 114,795ක්.
එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,425 ක් වනවා.
මේ අතර, කොළඹ මහනගරසභා සීමාවේ වෙසෙන කොවිෂිල්ඩ් එන්තතේ පළමු මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එම එන්නතේ දෙවැනි මාත්‍රා ලබාදීම අදත් සිදුවනවා.
බස්නාහිර පළාතේම වයස අවුරුදු 60 ට වැඩි පිරිස් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ වුණා.
මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මෝඩර්නා සහ ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීමට අදාළ උපදෙස් මාලාවක් ඉදිරියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ අතර, කොරෝනා තත්ත්වය නිසා බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්රයේ ආයතනවලට දැනට ලබාදී ඇති සහන ලබන දෙසැම්බර් මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
එසේම, කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහිඳ සෙවන නිවාස සංකීර්ණය හැර සෙසු කොටස් අද උදෑසන හයේ සිට හුදෙකලා කෙරුණා.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශයේ ගල්බොරැල්ල - සීයවත්ත ග්‍රාම නිලධාරී වසමද හුදෙකලා කිරීමට පියවර ගත් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.
මේ අතර, නුවරඑලිය, ගම්පහ, ගාල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදෙකලාභාවය ඉවත් කිරීමටද පියවර ගැනුණා.
Share This Article