ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්
Tuesday, 22 June 2021 - 11:49 | Views - 2,232

ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය සඳහා වැය වන පිරිවයද ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
ඔවුන් පවසන්නේ පසුගිය 11 වන දින සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින් ඉහළ යාම හේතුවෙන් සෑම කිලෝ මීටරයකට අමතර පිරිවැයක් දැරීමට තමන්ට සිදුව ඇති බවයි.
දැනට කිලෝ මීටරයකට ලැබෙන ප්‍රවාහන ගාස්තුවට අමතරව, ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් 13200 ටැංකි රථයකට රුපියල් 18.83ක්ද, 19800 ටැංකි රථයකට රුපියල් 28ක් සහ 33000 ටැංකි රථයකට රුපියල් 7.67ක අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව එම සංගමය පෙන්වා දෙනවා.
පසුගිය පෙබරවාරි මස 25 වන දින අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී මාර්තු මස 12 වන දින සිට ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය සම්පූර්ණ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවද පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත් ඒ පිළිබඳව තවමත් විසඳුමක් ලබා නොදීම හේතුවෙන් ප්‍රවාහනකරුවන් බරපතල ගැටළු රැසකට මුහුණ දී ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.
සාකච්ඡා සිදුකර මෙම සතිය තුල ඊට විසඳුම ලබා නොදුනහොත් සිය සාමාජිකයින් සේවයට වාර්තා නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අනතුරු අඟවනවා.
එසේ වුවහොත් ඉන්ධන ප්‍රවාහනයේ ගැටළුකාරී තත්ත්වයක් ඇති වී රට තුල ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ද පවතිනවා.
මෙරට ඉන්ධන සැපයුම් ප්‍රවාහන ජාලයේ 90% ක පමණ පාලනයක් සතුව ඇත්තේ පෞද්ගලික ටැංකි රථ හිමියන් සතුවයි.
ඛනිජතෙල් සංස්ථාව මඟින් ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රධාන බෙදාහරීම් මධ්‍යස්ථාන වෙත දුම්රිය උපයෝගී කරගනිමින් ඛනිජ තෙල් ප්‍රවාහනය සිදුකරන අතර එලෙස බෙදාහැරෙන ඛනිජ තෙල් ප්‍රාදේශීය බෙදාහරීම් මධ්‍යස්ථාන වෙතින් නැවතත් ඉන්ධන හල් වෙත බෙදාහැරීමේ වැඩි කාර්ය භාරයක් පැවරෙන්නේ ද පෞද්ගලික ටැංකි රථ හිමියන්ටයි.
Share This Article