කොරෝනා අවදානම බරපතල මට්ටමට - සමාජ හැසිරීම අනුමත කළ නොහැකියි
Tuesday, 15 June 2021 - 14:13 | Views - 591

මේ වනවිට මෙරට කොවිඩ් ව්‍යාප්තිය උපරිම තත්ත්වයට පැමිණ ඇති බැවින් තවත් කොවිඩ් රැල්ලකට ඔරොත්තු දීමට රටට නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කියා සිටියේ මේ හේතුවෙන් සංචරණ සීමා තවදුරටත් දැඩිව ක්‍රියාත්මක විය යුතු බවයි.
ඊයේ හඳුනාගැණුනු නව ආසාදිතයන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් එනම් 526 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.
ඉන් 65 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ මීගහවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර, රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 63 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
දොම්පේ ප්‍රදේශයෙන්ද ආසාදිතයන් 59 දෙනෙකු, සපුගස්කන්දෙන් 43 දෙනෙකු සහ බියගමින් 42 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 287 දෙනෙකු, රත්නපුරයෙන් 260 දෙනෙකු, කළුතරින් 155 දෙනෙකු සහ ගාල්ලෙන් 134 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දීත් ජනතාව හැසිරෙන ආකාරය අනුව එයින් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකි වේද යන්න සැකයක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කළා.
කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා හුදෙකලා කෙරුණු හැටන් - වැලිඔය වත්තේ කම්කරුවන් පිරිසක් අද උදෑසන උද්ඝෝෂණයක නිරතවුණා.
ඒ, රජය විසින් ලබාදෙන කිසිදු සහනාධාරයක් තමන්ට නොලැබුණු බවට චෝදනා කරමින්.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඔවුන් එලෙස විරෝධතාවයේ නිරතවූ බවයි ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අදාළ ඉල්ලීම් 13 ක් මුල් කරගනිමින් උතුර සහ උතුරු මැද පළාත්වල රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් අද පැය දෙකක කාලයක් සේවයෙන් ඉවත්ව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවුණා.
අද පෙරවරු අටේ සිට 10 දක්වා පැවති එම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම රෝහල්වල කටයුතුවලට බාධා එල්ලවී තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
කෙසේ වෙතත් තවදුරටත් තම ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත්, හෙට දිවයින පුරා සියලු පළාත් රෝහල්වල පැය 4 ක කාලයක් සේවයෙන් ඉවත්වීමට සැළසුම් කර ඇති බව, සමස්ත ලංකා සුව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ කියා සිටියා.
Share This Article