බස්නාහිරින් ගාල්ලට ගොස් එන්නත් ලබාගත් නම් ලැයිස්තුව පොලිසියට දෙන්නැයි නියෝග
Monday, 14 June 2021 - 20:06 | Views - 474

හිරු ප්‍රවෘත්ති මගින් අනාවරණ කළ බස්නාහිර පළාතේ සිට උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය, පොලීසියට ලබාදෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද නියෝග කළා.
ඒ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙතයි.
ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ එන්නත් සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කළේ උණවටුන ඖෂධ ගබඩාවට ලැබුණු එන්නත් ප්‍රමාණය සහ ඉතිරි වූ එන්නත් පිළිබඳව ද තොරතුරු ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලබාදෙන ලෙසයි.
අදාළ සිදුවීම සිදුවූ පසුගිය 5 වනදා සහ 7 වනදා එම ස්ථානයේ සී.සී.ටී.වී. දර්ශන ද පොලීසියට ලබාදෙන ලෙස මෙහිදී විනිසුරුවරයා නියෝග කළා.
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේදී මෙලෙස කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදුන් බවට ප්‍රදේශවාසීන් චෝදනා කළ අතර, පසුව ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති තුළින් දිගින් දිගටම කරුණු අනාවරණ කළා.
අනතුරුව පරීක්ෂණයක් ආරම්භ කළ ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඒ සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු වාර්තා කළා.
ඒ අනුව, පසුගිය 11 වනදා අධිකරණය නියෝග කළේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමෙන් එම දින දෙක තුල ගාල්ල දෙසට පිටවූ වාහන පිළිබඳව ද සී.සී.ටී.වී. දර්ශන ලබා දෙන ලෙසයි.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත අසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 23,638 ක් වන අතර ඉන් එක්ලක්ෂ 88,547 ක් සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය අසාදිතව පුද්ගලයින් 32,955 ක් රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.
මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 2,136 ක් වාර්තා වී තිබෙනවා.
අද මේ දක්වා වාර්තා වුණු ආසාදිතයින් සංඛ්‍යාව 1780 ක්.
මේ අතර, මතුගම - පාන්තිය ආදාහනාගාරයේ ආදාහන කුටියට ඇතුලත් කළ මතුගම -ගල්වත්ත ප්‍රදේශයේ 93 හැවිරිදි කාන්තාවකගේ කොරෝනා අසාදිත දේහයක් ඉවත් කර ආදාහනාගාරයට රැගෙන ආ වෙනත් මළ සිරුරක් අදාහනය කළ බවට වාර්තා පළ වනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඊ.ඩි.ලයනල් සඳහන් කළේ කොරෝනා අසාදිත දේහය නියමිත වේලාවට වඩා ප්‍රමාදවී, ආදාහනාගාරයට රැගෙන ඒම හේතුවෙන් මෙම ගැටලුව මතුවූ බවයි.
එක් ආදාහන කුටියක් ක්‍රියාවිරහිතව තිබෙන නිසා නියමිත වේලාවට සාමාන්‍ය මරණය ආදාහනය කර පසුව කොරෝනා ආසාදිත මෘත දේහය ආදාහනය කළ බව ද ඔහු කියා සිටියා.
මේ අතර, සුපිරි වෙළඳසැල් මගින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් මිලදී ගත හැකි බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එසේම, කිලිනොච්චිය, පන්නකණ්ඩි ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලූ පොලීසිය 14 දෙනෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, යාපනය -කුරුනගර් ප්‍රදේශයේ නිවසක විවාහ මංගල උත්සවයකට සහභාගිවූ 16 දෙනෙකු ද එම නිවස තුලම නිරෝධායනයට ලක් කල බව යාපනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කළා.
Share This Article