එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිතා කර අවමංගල්‍ය කටයුතු සිදුකළ 07කට කොරෝනා
Tuesday, 08 June 2021 - 14:15 | Views - 2,092
හෝමාගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත්, දියගම මල්ශාලාවේ කළමනාකරු ඇතුළු 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම මල් ශාලාව තාවකාලිකව වසා දැමීමට ඊයේ පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.
මේ හේතුවෙන් එම මල් ශාලාවේ සේවය කළ තවත් පුද්ගලයින් දසදෙනෙකු මල් ශාලාව තුලම නිරෝධායනය කිරීමටත් කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබෙනවා.
මීට දින කීපයකට පෙර එම මල්ශාලාවේ කළමනාකාරවරයාට සහ රියදුරුට කොරෝනා ආසාදනය වී තිබූ අතර පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී එහි තවත් සේවකයින් පස්දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හඳුනාගැනුනා.
ඒ අනුව එම මල් ශාලාවේ සේවය කළ සෙසු සේවකයින් දස දෙනෙකු ස්වයං නිරෝධායනය කොට ආසාදිතයින් රෝහල්ගත කිරීමට පියවර ගත්තා.
මෙම මල්ශාලාවේ සේවකයින් සියලු දෙනා එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිත කරමින් දෛනිකව අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
Share This Article