අද ඇරඹුණු හිරු සහන යාත්‍රාව
Monday, 07 June 2021 - 19:09 | Views - 319

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සංචරණ සීමා සමඟ දැඩි දුෂ්කරතා මධ්‍යයේ, සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද සිට යළි පුළුල් අයුරින් දියත් කෙරුණා.
ඒ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගත් ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත්ව සිටින ජනතාවද ඉලක්ක කර ගනිමින්.
අපේ රට විවිධ අපදාවන්වලට මුහුණ දුන් අවස්ථාවලදී ජනතාව වෙනුවෙන් කවදත් පෙරමුණ ගන්නා හිරු, මෙවරත්, විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින අපේම ජනතාව වෙනුවෙන් අත්වැලක් වන්නට තීරණය කළේ පුළුල් ජාලයක් ලෙස තව තවත් ශක්තිමත් වෙමින්.
ඒ අනුව, හිරු සහන යාත්‍රාව යටතේ ලබාදීමට නියමිත වියළි ආහාර ද්‍රව්‍ය සූදානම් කිරීමේ කටයුතු ඊයේ සිදු කෙරුණේ බත්තරමුල්ල පැලවත්ත හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේදී.
ඉන් අනතුරුව අයහපත් කාලගුණය සහ කොරෝනා ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සංචරණ සීමා සමඟ දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අද දියත් කෙරුණා.
ඒ අනුව පන්සලේ, පල්ලියේ, කෝවිලේ, පුදබිමේ වැඩ සිටින අති පූජනීය මහා සංඝරත්නය ප්‍රමුඛ පූජක ප්‍රසාදින්වහන්සේගේත්, ළමා නිවාසවල රැදී සිටින දූදරුවන්ගේත් වැඩිහිටි නිවාසවල තනිවූ වැඩිහිටියන්ගේත් ඕනෑ එපාකම් සපුරාලීමට මෙවරත් හිරු සුදානම්.
රත්මලාන ශ්‍රී රත්නාරමය, මහරගම සුජාතා වැඩිහිටි නිවාසය, කළුඅග්ගල අමිලසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානය හා කළුඅග්ගල වික්ෂෝප මාතා දෙවිමැදුර කේන්ද්‍ර කර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කය තුල හිරු සහන යාත්‍රාව අද ක්‍රියාත්මක කළා.
ගම්පහ දිස්ත්‍රික්කයේ අද හිරු සහන යාත්‍රාව ක්‍රියාත්මක කෙරුණේ බුත්පිටිය පිලිකුත්තුව රජමහා විහාරය, දෙල්ගොඩ බිම්බා දේවී වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය, මාවිට - බෙම්මුල්ල ශ්‍රී වර්ධන පිරිවෙන, කඩවත ඇල්දෙනිය බුවනෙක වැඩිහිටි නිවාසය සහ වැලිසර සිරි සෙවණ වැඩිහිටි නිවාසය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින්.
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්ව අවතැන් කඳවුරු වල සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන්ද සහෝදරත්වයේ දෑත් මෙවර දිගුකෙරෙන්නේ හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය තව තවත් පුළුල් කරමින්.
ඒ අනුව හංවැල්ල මායාදුන්නේ මහා විද්‍යාලයේ පිහිටි අවතැන් කඳවුරේ පවුල් 60ක පුද්ගලයින් 250කට පමණ වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම අද සිදු කෙරුණා.
කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලට අමතරව හිරු සහන යාත්‍රාව හෙට කළුතර දිස්ත්‍රික්කය තුලද ක්‍රියාත්මක වනවා.
මේ අතර හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව කොල්ලුපිටිය දුම්රිය ස්ථානය, පොලිස් ස්ථානය සහ පොදු වෙළෙඳ සංකීර්ණය විෂබීජහරණය කිරීමද අදත් සිදුකෙරුණා.
Share This Article