වැසි තත්ත්වයේ වැඩිවීමක් - නායයෑම් අනතුරු ඇඟවීම්ද නිකුත් කෙරේ
Thursday, 03 June 2021 - 14:18 | Views - 3,616

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම් හේතුවෙන් පළාත් කිහිපයකට බලපා ඇති වැසි තත්ත්වය හෙට සහ අනිද්දා දිනවලදී ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර ඇති අතර, අද බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි බලාපොරොන්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.ඒ අනුව අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයට ලැබී ඇති අතර, එය මිලිමීටර් 215.5ක්.ඊට අමතරව ගාල්ල - ලංකාගම ප්‍රදේශයට මිලිමීටර් 187.5ක්, පාහියන්ගලට 183.5ක්, බුලත්සිංහලට 172.5ක්, හොරණට 170.5ක් සහ ඇහැලියගොඩට 145.5ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.පවතින වැසි තත්වය හේතුවෙන් කොළඹ, ගාල්ල, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ගාල්ල - නෙලුව, කළුතර - බුලත්සිංහල, රත්නපුර - ඇහැලියගොඩ සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත දෙවන අදියරේ අනතුරු ඇගවීමක් ද එමඟින් නිකුත් කෙරුණා. මේ අතර, කළු, කැළණි ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.ඒ හේතුවෙන් අත්තනගලු ඔයේ ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල යන ප්‍රදේශවල පහත්බිම්වල ජීවත්වන ජනතාව මෙන්ම කළු ගඟේ මිල්ලනිය, කළුතර, හොරණ, ඉංගිරිය, මතුගම සහ පාලින්ද නුවර යන ප්‍රදේශවල පහත්බිම්වල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර කියා සිටියේ.


Share This Article