ගුරුවරුන්ට කොරෝනා එන්නත ලබාදීමට කඩිනම් වැඩපිළිවෙලක්
Tuesday, 18 May 2021 - 8:39 | Views - 710

නව කොරෝනා ආසාදිතයන් 2,456 ක් ඊයේ හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 145,202 ක් දක්වා ඉහළ ගියා.
නව ආසාදිතයන්ගෙන් 2,433 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 23 දෙනෙකු ද නව ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.
ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 24,592 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 119,629 ක්.
එමෙන්ම ඊයේ මරණ 19 ක් වාර්තාවී ඇති අතර, මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 981 ක් දක්වා ඉහළ ගියා.
මියගිය අයගෙන් 12 දෙනෙකුගේ මරණ සඳහා කොවිඩ් නියුමෝනියා තත්වයද හේතුවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 42 ත් 89 ත් අතර වයස්වල පසුවන්නන්.
මේ අතර මුලතිව් පුදිකුඩිඉරිප්පු ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් සඳහා සිදුකළ කොරෝනා පරීක්ෂාවකදී 261 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඔවුන් ඊයේ දිනයේම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි මුලතිව් සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබුණේ.
මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ගුරුවරුන්ටද කොරෝනා එන්නත ලබාදීමට කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කරන බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායනයට ලක්ව සිටින පවුල් සඳහා රුපියල් දස දහසක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් ලබාදීමට පියවර ගන්නා බවයි දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
මේ අතර නිරෝධායන නීති කඩකළ 223 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මෙම පිරිස අතර ජාතික හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් සංචරණය කළ 141 දෙනෙකුද ඇතුළත් බවයි.
Share This Article