පිළියන්දල නගරය හරහා ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් වෙයි
Wednesday, 12 May 2021 - 13:17 | Views - 3,406

වහාම ක්‍රියාත්මක වන පරිදි පිලියන්දල නගරයට ඇතුළුවීම සහ ඒ හරහා ගමන් කිරීම අත්හිටුවා තිබෙනවා.
කොවිඩ් ව්‍යාප්තියත් සමග පිලියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න සහ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරි වසම් හුදකලා කිරීමට අද පියවර ගැණුනා.
පිලියන්දල නගර සීමාව අයත් වන්නේ එම ග්‍රාම නිලධාරි වසම් දෙකට බැවින් මෙලෙස පිලියන්දල නගරයට ඇතුළු වීම සහ ඒ හරහා ගමන් කිරීම අත්හිටුවන බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න සඳහන් කළේ.
එම ග්‍රාම නිලධාරී වසම් දෙක ඇතුළු දිස්ත්‍රික්ක 6 ක ග්‍රාම සේවා වසම් 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා.
ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මහබාගේ පොලිස් වසමේ ඇලපිටවල නවම් මහර ගම, මගුල් පොකුණ ගමේ මගුල් පොකුණ පාර හුදෙකලා වනවා.
ගාල්ල දිස්ත්‍රික්කයට අයත් ඉමදූව පොලිස් වසමේ දික්කුඹුර ග්‍රාම නිලධාරී වසමත්, අහංගම පොලිස් වසමේ අටානිකිත ග්‍රාම නිලධාරී වසමත් හුදෙකලා වනු ඇති.
එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයට අයත් පැල්මඩුල්ල පොලිස් වසමේ සන්නස්ගම, දොඹගස්වින්න මෙන්ම ගොඩගම ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත පොලිස් වසමේ කට්ටංගේ අංක තුන කොටසද හුදෙකලා වනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරියවැව පොලිස් වසමේ සූරියවැව නගර සීමාව, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් උඩපොත සහ කැන්ඳාව ග්‍රාම නිලධාරී වසම්ද වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කොටදෙනියාව පොලිස් වසමේ කළුඅග්ගල සහ පොල්හේන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලාබවින් ඉවත් කෙරෙන අතර, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් වසමට අයත් අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී වසමද හුදෙකලාබවින් ඉවත් වනවා.
මේ අතර, සබරගමුව පළාතේ ඖෂධ අලෙවිසැල් හැර සියලු වෙළඳසැල් රාත්‍රී 7 න් පසු වසා දමන ලෙසට පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම, මැයි 14, 15 සහ 16 දිනවල අත්‍යාවශ්‍ය වෙළඳසැල් හැර අනෙකුත් සියලු වෙළඳසැල් වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා.
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි වාහන බලපත්‍ර අවලංගු වීමේ කාලසීමාව ද ජුනි 30 දක්වා දීර්ඝ කර තිබෙනවා.
මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කර 435 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.
පළාත් අතර සංචරණ සීමා ඊයේ රාත්‍රියේ පැනවීමත් සමඟ අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා පැමිණෙන්නන්ට අවශ්‍ය බස් රථ කිහිපයක් ප්‍රදේශ කිහිපයකින් කොළඹ බලා ධාවනය වන බව ද ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා.
මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ අත්‍යාවශ්‍ය සේවා සඳහා ධාවනය වන වාහන සඳහා අවසර ලබාදී ඇති බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා.
ඒ අනුව වැලිපැන්න ප්‍රදේශයේ පිහිටා ඇති පොලිස් මාර්ග බාධකයේදී සිය අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන සේවකයින් සිය රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු වනවා.
Share This Article