වසා දැමුවද ? පැතිරෙන කොරෝනාව
Monday, 03 May 2021 - 9:24 | Views - 598

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමා තැබුවද දිනපතා ගොවීන් සිය එළවළු තොග රැගෙන එහි පැමිණීම හේතුවෙන් කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්විය නොහැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කළා.
දඹුල්ලේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කියා සිටියේ එළවළු ගොවියා සහ පාරිභෝගිකයා අතරමැදි කණ්ඩායමකගේ සුරා කෑමකට ද ලක්ව ඇති බවයි.
කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පසුගිය 26 වන දා සිට හුදෙකලා කිරීමටයි සෞඛ්‍ය අංශ තීරණය කළේ.
කෙසේ වෙතත් ගොවීන් පසුගිය දින කිහිපය තුළම සිය නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා දඹුල්ල ප්‍රදේශයට රැගෙන එනු ලැබුවා.
එහෙත් එළවළු විකුණා ගැනීමට නොහැකිව ඔවුන් අපහසුතා රැසකට පත්වූ අයුරු හිරු ප්රවෘත්ති ඔස්සේ දිගින් දිගටම වාර්තා කළා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ ගොවීන් සිය එළවළු නිෂ්පාදන වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොස් අලෙවි කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බවයි.
කෙසේවෙතත් ගොවීන් විසින් එලෙස ආර්ථික මධ්‍යස්ථාන වෙත නොගොස් අනුරාධපුර සහ මාතලේ යන ප්‍රදේශවල මාර්ග ආසන්නයේ සිය නිෂ්පාදන අලෙවි කිරීමට පියවර ගෙන තිබුණා.
මේ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය විවෘත කරන ලෙසට ගොවීන් ඉල්ලීම් කළද එහි සේවකයන් කොරෝනා පරීක්ෂණ මගහරිමින් සිටින බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ පසුගියදා සිදුකළ ප්‍රකාශය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය ප්‍රතික්ෂේප කරනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 500 ක් පමණ සේවය කරන අතර ඉන් කොරෝනා පරීක්ෂන සිදුකර ඇත්තේ 30 දෙනෙකු පමණක් බවයි ආණ්ඩුකාරවරයා මහනුවරදි මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ.
කෙසේ වෙතත්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිෂ්ටි විජේරත්න සදහන් කළේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කරන බොහෝ පිරිසක් මේ වන විටත් කොරෝනා පරීක්ෂණ සිදුකර අවසන් බවයි.
Share This Article