මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාවුල යන පොලිස් වසම් මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමද හුදකලා කර ඇති බවයි.
ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව සහ ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව පොලිස් බල ප්‍රදේශයේ එලමුල්ල ග්‍රාමසේවා නිලධාරී වසමද හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
කොවිඩ් ආසාදිතයන් 1531 දෙනෙකු ඊයේ දිනයේ වාර්තාවීමත් සමඟ දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ වාර්තාව යළිත් අලුත් වුණා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 106,484ක් දක්වා ඉහළ ගියා.
මේ අතර, කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් 6ක් ඊයේ පෙරවරුවේ සිට හුදෙකලා කර තිබෙනවා.
මේ අතර, කොවිඩ් ආසාදනයෙන් සිදුවූ තවත් මරණ 6ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 667 දක්වා ඉහළ ගියා.
මේ වන විට ව්‍යාප්තවන කොවිඩ් 19 නව ප්‍රභේදයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති කණ්ඩායමක් ලෙස ගැබිණි මව්වරුන් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ගැබිණි මව්වරුන් වෛරසයෙන් ආරක්ෂාවීමට දැඩි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි.
මේ වන විටත් ගැබිණි මව්වරුන් තිදෙනෙක් රෝහල් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවද එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව ගැබිණි මව්වරුන්ටද කොවිඩ් මර්දන එන්නත් ලබාදිය යුතුයැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.
මේ අතර ගාල්ලෙන් සහ කළුතරින් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ජෛව සාම්පලවලද පවතින්නේ බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය බවට මුලික විමර්ශනවලදී සාධක ලැබී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා ශෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.