කොවිඩ් නොතැකූ නුවරඑළි සැණකෙළිය
Monday, 26 April 2021 - 15:16 | Views - 436

දිවයින පුරා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් අවදානම හමුවේ මහජනතාවට විවිධ සීමා පැනවෙද්දී නුවරඑලිය මහ නගර සභා සේවකයින් සඳහා අලුත් අවුරුදු උත්සවයක් ඊයේ ග්‍රෙගරි වැව ආශ්රිත ප්‍රදේශයේදී පැවැත්වුනා.
අප වාර්තාකරුට අනුව මෙම උත්සවය සංවිධානය කිරීමට නුවරඑලිය නගරාධිපති චන්දනා ලාල් කරුණාතිලක මූලිකත්වය ගෙන ඇති අතර ඒ සඳහා නුවරඑලිය නගර සභා සේවකයින් බොහෝ පිරිසක් එක්ව සිටියා.
මේ වන විට රට තුළ දැඩිව ඉහළ යන කොරෝනා පැතිරීමත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා නිකුත් කර උත්සව,සාද,සුහද හමු පවා තහනම් කර ඇති පසුබිමක් තුල මෙම අවස්තාව සඳහා මුහුණු ආවරණ පවා නොමැතිව පිරිස් එක්ව සිටි අයුරු දක්නට ලැබුනා.
එවැනි තත්වයක් තුළ නුවරඑළිය නගර සභා සේවකයින් සහ නගරාධිපති මෙලෙස වගකීම් විරහිත ලෙස හැසිරීම සම්බන්දයෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි විරෝධය හා අප්‍රසාදය පල කරනා බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අප කල විමසීමකදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පැවසුවේ, පවතින කොවිඩ් අවදානම නොතකා සෞඛ්‍ය උපදෙස් කඩකරමින් පැවැති එම අවුරුදු උත්සවය පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට තමන් උපදෙස් ලබාදුන් බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ වසන්ත උදානයට සංචාරකයන් ගෙන්වා ගැනීම අවම කරන ලෙස හා ඇතැම් තරග ඉසව් නතර කරන ලෙසට නගරාධිපතිවරයාට උපදෙස් ලබාදී තිබියදීත් ඒවා නොතකමින් ඔහු කටයුතු කර ඇති බවටයි.
මෙම අවුරුදු උත්සවයට එක්වූ නගර සභා සේවකයන්ගේ දිවා ආහාරය සමග මත්පැන් මිලිලීටර් 175ක බෝතලයක් ලබා දී ඇති බවට ලැබී ඇති තොරතුරු සම්බන්දයෙන්ද සිය දැඩි අවධානය යොමුවී ඇති බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසුවා.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශ උසස් නිලධාරියකු සඳහන් කලේ මෙවර නුවරඑළි වසන්ත සැණකෙළි නොපවත්වන ලෙස සෞඛ්‍ය අංශ කල දැනුම් දීමද නොතකා නුවරඑළිය නගරාධිපතිවරයා අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවයි.
Share This Article