" සැබෑ රැජිනක් වන්නේ දිනාගත් කිරුළ රැකගත් අයෙකු පමණයි " රටට අහිමිව යන කිරුළ ගැන පුෂ්පිකා කථා කරයි
2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පළන් කැරොලයින් ජූරි සිය කිරුළ ස්වෙච්ඡාවෙන් අත්හැරීමට ගත් තීරණයත් සමග එය මෙම තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් අයර්ලන්ත විවාහක රූ රැජිණ සතු වන බව ලෝක විවාහක රූ රැජන සංවිධායක මණ්ඩලය අද පවසා තිබුණා.
ඒ පසුගියදා මෙරට පැවැති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගය අවසානයේ මතු වූ අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් කැරොලයින් ජූරි සිය ලෝක විවාහක රූ රැජන කිරුළ අත්හැරීමට තීරණය කළ පසුබිමකයි.
කෙසේ වෙතත් මෙම සිද්ධියට බලපෑ 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස කිරුළු පළන් පුෂ්පිකා ද සිල්වා මුහුණු පොතට අද එක්කර තිබුනේ මෙවන් සටහනක්,
ලෝකෙ ඉතිහාසය පුරාම මිනිසුන් කිරුළු වෙනුවෙන් යුද වැදුනා. එක්කෝ රටක් වෙනුවෙන්, එක්කෝ ආදරය වෙනුවෙන්, එක්කෝ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්..
නමුත්, අපේ රටේම අවාසනාවකට, මෙරටින් බිහි වූ ලෝක විවාහක රූ රැජිණ, සිය පෞද්ගලික තීරණයක් මත සිය කිරුළ නැවතත් සංවිධායක මණ්ඩලය වෙත ලබා දීම අතිශය කනගාටුදායකයි. දැන් එම කිරුළ අයර්ලන්තයට හිමි වී තිබෙනවා.
කිරුළක් ලබා ගැනීම සඳහා තරඟ කරනවාට වඩා, ලබාගත් කිරුළ රැක ගැනීම තමයි අපහසු. බොහෝ කැපකිරීම් සිදුකොට දුෂ්කර ජයග්‍රහණයක් අවසානයේ තමාගේ හිස මත පැලඳි කිරුල රැක ගැනීමට කිසිවෙකුට නොහැකි නම් එම ගැහැණිය සැබෑ රැජිනක් වන්නේ ද යන්නත් ප්‍රශ්නයක්.
මන්ද, රැජිණක් යනු මොන තත්වයක් යටතේ වුවත් නොසැලෙන, නොවැටෙන, සිය හිස කෙළින් තබා ගෙන, තමා අතට ලැබුණු කිරුල ආරක්ෂා කර ගැනීමට දිවිහිමියෙන් කැපවන අභිමානවත් තැනැත්තියක් නිසා.
මෙහිදී තනි පුද්ගලයෙක් වශයෙන් තමන් ගැන සිතා ස්වේච්ඡාවෙන් කිරුල නැවත භාරදීමට ගත් තීරණයට වඩා, රටක් නියෝජනය කරන තැනැත්තියක් වශයෙන් වඩාත් වගකීම් සහගත ලෙස සිතමින්, කිරුළ අපේ රට වෙතම තබා ගැනීමට ඇය කටයුතු කළා නම්, එය කොතරම් වටිනා තීරණයක් වන්නට ඉඩ තිබුණේ ද?
මට නම් සියල්ලට පෙර වටින්නේ මගේ රටයි. මගේ මමත්වයට වඩා මගේ ආත්ම අභිමානයට වඩා හැමවිටම මගේ මාතෘභූමියේ ගරුත්වය උසස් කොට සලකනවා.
ඉතින්, මගේ රට ලෝකයක් ඉදිරියේ දැන්, ලැබුණු කිරුළ වත් රැක ගත නොහැකිවූ රටක් බවට පත්වනවා නොවේදැයි සිතෙන විට නැවතත් ජාත්‍යන්තරය ඉදිරියේ මගේ රට එසේ අවඥාවට පත්වීම ගැන මා ඉතාම සංවේදී මෙන්ම කණගාටුව ප්‍රකාශ කරනවා.
මේ සඳහා මට කළ හැකි උපරිමය වන්නේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගයේ දී හැකි උපරිමයෙන් මගේ රට වෙනුවෙන් තරඟ කරමින් මගේ රට ලෝකය ඉදිරියේ යලිත් ඔසවා තබමින් ශ්‍රී ලංකා යන නමට ගෞරවයක් සහ කීර්තියක් අත් කර දීම සඳහා කටයුතු කිරීමයි. ඒ සඳහා අන් සියල්ල පසෙක දමා මම දැනටමත් ඉතා කැපවීමෙන් සූදානම් වෙමින් ඉන්නේ. ඒ ඉදිරි ගමනට ඔබ සියලු දෙනාගේම වචනයක් පවා මට ආශිර්වාදයක්. මහත් ශක්තියක්.
- පුෂ්පිකා ද සිල්වා
2011 ශ්‍රී ලාංකික විශ්ව රූ රැජිණ
2020 ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ