තැනින් තැන මතුවන සැක පොල්තෙල් තොග
Friday, 02 April 2021 - 9:46 | Views - 216

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක තිබූ සැක කටයුතු පොල් තෙල් කන්ටේනරයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාතට ලද තොරතුරක් මත දඹුල්ල නගර සභාව සහ පොලීසිය එක්ව සිදුකළ වැටලීමකදීයී.
එහිදී අදාළ පොල් තෙල් තොගය කුමන ප්‍රදේශයක සිට රැගෙන ආවේද යන්න සහ එහි ප්‍රමිතිය පිළිබඳ තහවුරු කෙරෙන කිසිදු ලියකියවිල්ලක් ඉදිරිපත් කිරීමට කන්ටේනර් රථ රියදුරු සහ ගබඩා භාරකරු සමත්ව නැහැ.
ඒ අනුව සැක කටයුතු පොල් තෙල් ලීටර් 20,000ක පමණ ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන ගබඩාව මුද්‍රා තබා තිබෙනවා.
හෙට දිනයේ අදාළ පොල්තෙල් පිළිබඳ සාම්පල පරීක්ෂාවක් සිදු කරන බවයි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත කියා සිටියේ.
මේ අතර, ප්‍රශ්නගත පොල්තෙල් සාම්පල පිලිබඳ කාර්මික තාක්ෂණික ආයතනයේ වාර්තාවෙන්ද ඒවායේ ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගු බවට තහවුරු වී තිබෙනවා. එම සාම්පල කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමුකර තිබුණේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්.
ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගු බවට මීට පෙර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ පිරිපහදු නොකළ පොල්තෙල් ගබඩා කර තිබූ ගුදම්වලින් පාරිභෝගික කටයුතු අධිකාරිය මෙම සාම්පල ලබාගෙන තිබුණා.
එම පොල්තෙල් ගබඩා කර තිබූ ආනයනකරුවන්ගේ පෞද්ගලික ගුදම් මුද්‍රා තබා පාරිභෝගික කටයුතු අධිකාරිය එහි සාම්පල ලබාගෙන තිබූ අතර, ඒවා පරීක්ෂා කිරීම සඳහායි කාර්මික තාක්ෂණික ආයතනය වෙත යොමුකරනු ලැබුවේ.
ඒ අනුව, තෙල් තොග නැවත ආනයනය කළ රට වෙත යවන ලෙස ශ්‍රී ලංකා රේගුව ආනයනකරුවන්ට නියෝග කළා. ඒ අනුව අද හෝ හෙට එම පොල්තෙල් ගෙන්වූ එක් සමාගමක පොල්තෙල් ප්‍රතිඅපනයනය කරනු ඇති බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ.
මේ අතර, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ පරිභෝජනයට ගන්නා තෙල් වර්ගවලට කිසිදු ද්‍රව්‍යයක් මිශ්‍ර කිරීම තහනම් වන ආකාරයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
Share This Article