අල්ලස් කොමිසමේ නිලධාරීන්ගෙන් බේරී යෑමට රුපියල් දස දහසක් වටිනා මුදල් නෝට්ටු ගිල දැමූ වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ගම්පහ රෝහලට පෙරේදා ( 29 වැනිදා ) ඇතුළත් කර තිබෙනවා.
මේ අතර අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත සැකකාර ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ ( 30දා ) නියෝග කළේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ගෙන් බේරීමට රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දෙකක් ගිල දැමූ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගම්පහ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර ගිල දැමූ මුදල් නෝට්ටු නැවත ලබා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටින බවයි සඳහන් වන්නේ.
අල්ලස් කොමිසමෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව වාහනයක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් එක පාර්ශ්වයකට වාසි සහගත ලෙස අවසන් කිරීම සඳහා රුපියල් දස දහසක අල්ලස් මුදලක් සැකකාර නිලධාරියා විසින් ඉල්ලා තිබූ බවයි සඳහන් වන්නේ.
ඒ අනුව එම පාර්ශවය මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පෙරේදා පෙරවරුවේ වැලිවේරිය පොලිසිය වෙත ගොස් අදාළ අල්ලස් මුදල සැකකාර නිලධාරියා විසින් ලබා ගන්නා විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් දැකීමෙන් බියට පත්වු ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දෙක පොඩි කර ගිල දමා ඇති බවටයි වාර්තා වන්නේ.
පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් මේ පිළිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කර සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකාව වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි වීරසුරිය මහත්මියගේ අධීක්ෂණය යටතේ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සඳහා සහභාගි වී තිබෙනවා.
උපුටා ගැනීම - දිවයින