රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනාවක්
Thursday, 02 April 2020 - 8:13 | Views - 12,998
කොරෝනා වෛරසය පාලනය සඳහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් එක් පුද්ගලයෙකුගෙන් මසක් ඇතුළත තවත් 406 දෙනෙකුට පැතිරීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රෝගීන් සියයට විස්සකට රෝග ලක්ෂණ මතු නොවන අතර, තවත් සියයට 60 කට ඉතා මද වශයෙන් රෝග ලක්ෂණ ඇතිවන බවයි.
එබැවින් සැබෑ වශයෙන්ම කොරෝනා වෛරසය වැළඳී රෝගය අන් අයට සම්ප්‍රේෂණය කරන පිරිසගෙන් සියයට 80 ක්ම රෝගය පතුරුවන බවට සොයාගැනීමට අපහසු කාණ්ඩයට අයත් බවද එහි සඳහන්.
එබැවින් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයට මුහුණදීමේ ක්‍රමවේද කිහිපයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරනවා.
ඒ අනුව පුද්ගල සංචාරණ සීමා සියයට 80ක මට්ටමක පවත්වා ගෙන යාම, පරීක්ෂණ පහසුකම් වැඩි කිරීම, රෝග ප්‍රතිකාර කටයුතු සඳහා වෙන්වූ සුවිශේෂී රෝහල් ආරම්භ කිරීම එම යෝජනා අතර වනවා.
එමෙන්ම කොරෝනා රෝගීන් සඳහා විශේෂ රෝහලක් වෙන් කරන්නේ නම් ඇඳන් 700 කින් යුත් නවීනතම පහසුකම් වලින් සමන්විත රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ රෝහල ඊට වඩා සුදුසු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
Share This Article