කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝගියෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මීගමුව මහරෝහලේ 20 වන වාට්ටුව සහ එහි සිටි රෝගීන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 64 හැවිරිදි කොච්චිකඬේ - පෝරුතොට ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
එම පුද්ගලයා මීට පෙර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඉන් අනතුරුවයි මීගමුව මහරෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇත්තේ.
ඒ අනුව අදාළ පෞද්ගලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
මීට අමතරව ඔහුගේ පවුලේ ඥාතීන් සම්බන්ධයෙන් ද සොයා බලා ඔවුන් ද නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.
වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ ඔහුගේ අවසන් කටයුතු මීගමුව මහ නගර සභා පොදු සුසාන භූමියේදී ඊයේ රාත්‍රියේම සිදුකළ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 5හේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම වාට්ටුව ද නිරෝධායනයට ලක් කළ බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
එමෙන්ම, එම වාට්ටුවෙහි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ද දින 14ක නිරෝධායනයකට ලක් කර තිබෙනවා.
එමෙන්ම, කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් 15 දෙනෙකු මේ වන විට සුවය ලබා නිවෙස් වෙත ගොස් අවසන්.
සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ද සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ, එම මහකොමසාරිස් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමඟයි.
මේ අතර, මඩකලපුව - පූනානි ඇතුළු තවත් නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක සිටින පුද්ගලයින් 321 දෙනෙකු අද දිනයේත් ඔවුන්ගේ නිවෙස්වලට පිටත් කර හැරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඊයේ දිනයේදී ද විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 134 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලට පිටත් කර හරිනු ලැබුවා.
අද දිනයේ දී ද නිරෝධායන කටයුතු අවසන් වූ 321 දෙනෙකු නිවෙස් වෙත පිටත් කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.







