‘නෙළුම් බට්ටා’ කඩන්න ගිය පුද්ගලයා ටියුබ් එකේ ම මියගිහින්
Friday, 21 February 2020 - 13:36 | Views - 1,918

නොච්චියාගම බෝගහවැව දිවුල් වැවෙහි ‘නෙළුම් බට්ටා’ කැඩීමට ටියුබයක නැග දිය මතට ගිය පනස් හැවිරිදි අයකු ටියුබය මතම මියගිය ගොස් ඇතැයි නොච්චියාගම පොලිසිය පවසයි.
පසුගිය 18 වැනිදා මෙලෙස මිය ගොස් ඇත්තේ බෝගහවැව රනෝරාව පදිංචි රණසිංහ ආරච්චිලාගේ නිමල් රණසිංහ (50) නමැති තිදරු පියෙකි.
මිය ගිය අය ජීවිකාව ලෙස දෛනික වැටුපට කම්කරු වැඩ මෙන්ම ‘නෙළුම් බට්ටා’ කඩා නගරයට ගෙනවිත් විකිණීම ද කළ අයකු බව පොලිසිය කියයි.
පොලිසිය සඳහන් කරන පරිදි මියගිය අය 18 වැනිදා උදෑසන නිවසක් ඉදිකරනු ලබන ස්ථානයක දෛනික වැටුපට අත්වැඩ ලබා දීමට ගොස් ඇත. එදින එහි වැඩ නොතිබීම නිසා නැවත නිවසට පැමිණ ‘නෙළුම් බට්ටා’ කැඞීමට බෝගහවැව පිහිටි දිවුල්වැව වැවට ගොස් ඇත. අසල්වැසියන් කිහිපදෙනකු දිවුල් වැව වැව් බැම්ම මතින් සිය හේනට යන අවස්ථාවේදී මිය ගිය සිය යතුරු පැදිය වැව් බැම්ම මත නවතා ටියුබයක නැගී වැව මධ්‍යයෙහි ‘නෙළුම් බට්ටා’ කඩනු දැක ඇත.
සවස 2.30ට පමණ හේනට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටි අයකු මිය ගිය අයගේ යතුරුපැදිය සහ පාවහන් යුගළ බැම්ම මත තිබෙනු දැක ඇත. එසේ වුවද මියගිය අය වැවෙහි හෝ ඒ අසල දක්නට නොලැබුණ නිසා එම පුද්ගලයා නිවසට ගොස් ඒ බව මියගිය අයගේ බිරිඳට පවසා ඇත.
පසුව මියගිය අයගේ බිරිද හා සහෝදරයින් වැවට ගොස් පරීක්ෂා කිරීමේදී මියගිය අය වැව මධ්‍යයේ වූ ‘ටියුබය’ මත මිය ගොස් සිටිනු දැක ඇත. පසුව ප‍්‍රදේශවසීන් ජලයේ තිබූ දේහය වැව් බැම්ම මතට ගෙන පොලිසියට දැනුම් දී ඇත. අනතුරුව දේහය නොච්චියාගම රෝහල වෙත රැගෙන විත් තිබේ.
Share This Article