මත්පැන් ටිකක් තොලගෑවම වේග රිද්මයේ ගීතය ආදරයෙන් වැළැඳ ගන්නවා- සංගීතයේ රස නමය අතර වේග රිද්මයත් රසයක්
Wednesday, 05 February 2020 - 9:30 | Views - 1,132
ඔබේ වෘත්තිමය ගායනයේ ආගමනය ගැන සඳහන් කළොත්?

1963 වසරේ මාර්තු මස තිස් එක් වැනිදා පෙරවරු එකොළහ පසුවී විනාඩි කිහිපයකින් පසුව එකල ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ ප‍්‍රචාරය වූ ගීතයක් ලෙසින් මගේ පළමු ගීතය වූ ‘ලස්සනට පිපුනු වනමල්’ගීතය ප‍්‍රචාරය වුණා. එම වැඩසටහන මෙහෙයවූයේ කරුණාරත්න අබේසේකර මහතා. මෙම ගීතය රචනා කළේ එවකට සරත් මුණසිංහ නමින් ගිහි ජීවිතයක් ගත කළ, වර්තමානයේ ගිරිඋල්ල මහා විහාරයේ පැවිදිව සිටිනපූජ්‍ය මීගහවෙල සුමනශාන්ත හිමි. මෙහි සංගීතය නිර්මාණය කළේ ආර්. ඒ. චන්ද්‍රසේන ශූරින් විසින්.

එදා එලෙසින් ඇරැඹුණු මගේ ගායන දිවිය මෙපමණ දුරක් එනම් වසර පණහකට වැඩි කාලයක් පුරා පැමිණීමට හැකිවුණේ කාලයට අනුරූපව මගේ ගීත නිර්මාණය වූ නිසා. ඒ ගැන මට නිහතමානි සතුටක් අදත් තිබෙනවා. වේග රිද්ම ගායන ශෛලිය වෙත මා ඇදී ගියේ එදා හිරිමල් යෞවනයකු ලෙස මගේ තිබු කෙළිලොල් දඟකාරකම නිසා වෙන්නැති. අනෙක මගේ හඬ ඒ රිද්මයට උචිත වන බවක් මට හැඟී ගියා. අමතක කරන්න එපා මම ගුවන් විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස සිටින බව

හැටේ දශකය මෙරට කලාවේ හැරවුම්ලක්ෂ්‍යයක් සනිටුහන් කළ බවට මතයක් තිබෙනවා. ඒ යුගයට ආපසු ගියහොත් ?

විද්‍යාත්මකව ගීතයක් පටිගත කිරීමට මෙතරම් පහසුකම් එකල මෙහි නොතිබුණත්, එකල කලාවේ පිබිදීමක් තිබුණා. මගේ පළමු ගීතයට තනුව නිර්මාණය කරනු ලැබුවේ මා විසින්මයි. එහි සංගීතය සැපයූ ආර් ඒ චන්ද්‍රසේනයන් එකල කලා ක්ෂේත‍්‍රය තුළ හැඳින්වූයේ ‘ශ‍්‍රී ලංකා නෞෂාඩ්’යන අන්වර්ථ නාමයෙන්. ඔහු හින්දි ගීතයන්ට නොදෙවෙනි තනු නිර්මාණ බිහිකළා. ඒ වගේම එකල සිටි ගීත රචක කරුණාරත්න අබේසේකර වැනි මහත්වරුන් භාෂාව ගැඹුරින් හැදෑරීමෙන් පසුවයිගීත රචනයට එළඹ තිබුණේ. ඔවුන් ඇවිදින විශ්වකෝෂ වැනි චරිත ලක්ෂණ පළ කළා. හොඳ ගීත නිර්මාණයක් බිහිකිරීමට එකල ගායන ශිල්පි ශිල්පිනියන් එකම ගීතය විසිවාරයක් පමණ පටිගත කළ අවස්ථාත් තිබුණා. වාදකයින් පවා උපරිමයෙන් සිය හැකියාව නිර්මාණයකට ලබා දුන්නා. එදා තරුණයෙකු ලෙස වික්ටර් රත්නායකත් වයලින් වාදනයෙන් මගේ ගීතවලට දායකත්වය ලබා දුන්නා. එදා වාදකයෙකු ලෙස ඔහු කැපකළ කැපවීම තමයි ඔහුට පසු කළෙක ගායකයෙකු ලෙස දිගු ගමනක් යෑමට හේතුවූයේ. අදටත් වේදිකාවකට ගොඩවූ විට මගෙන් මගේ පළමු ගීතය රසිකයින් ඉල්ලන තරමට එම ගීතය එදා අතිශය ජනප‍්‍රිය වූවා. එම ආරම්භක පදනම ගායකයෙකු ලෙසමාගේ සාර්ථකත්වයට හේතුවුණා.

ඔබ චිත‍්‍රපට ගීත ගායනය සඳහා ආගමනය සිදුවූයේ කොහොමද?

මා පළමුව සිනමාපටයක් සඳහා ගීත ගැයුවේ’පෙම් කුරුල්ලෝ’සිනමාපටය සඳහායි. එහි සංගීතය නිර්මාණය කළේ ටෝනි වීරතුංග නම් සංගීතඥයා විසින්. පදරචනය කළේ ප‍්‍රකට ගුවන් විදුලි නිවේදක සහ පසුකලෙකසභාපතිවරයාද වූ හඩ්සන් සමරසිංහ විසින්. ‘කැසිලිබිසිලි නැහැ ඇඟේ පච්චා නැහැ’නම් මෙම ගීතය එකල අසීමිත ජනප‍්‍රියත්වයක් ලැබුවා. මෙය එකල වේදිකාවේ අනිවාර්යයෙන්ම මට ගායනා කිරීමට සිදුවූ ගීතයක් වුණා. මම සිනමාපට කිහිපයකම ගීත ගැයුවා. ‘වාලම්පුරි’ සිනමාපටයේදී විශාරද අමරදේවයන්ගේ සංගීතයට ජෝතිපාල සමග සමූහ ගීතයක් ගායනා කළා. ‘සඳවට රන්තරු’ඇතුළු සිනමාපට කිහිපයකටම මම ගීත ගායනා කළා.

ඔබේ ගීත කැසට් ආගමනය සිදුවූ ආකාරය මතකද?

මෙහි පුරෝගාමියා විජය රාමනායකයි. ඔහු ඒ වන විට ගීත තැටි නිෂ්පාදනයේ යෙදී සිටියා. එහි ඉදිරි පියවරක් ලෙසයි, ඔහු ගීත කැසට් නිර්මාණවලට යොමුවුණේ. පළමුව ගායන ශිල්පීන් දසදෙනෙකුගේ ගීත කැසට්පට සඳහා පටිගත කරනු ලැබුවා. ඒ පිරිසට මම, ලතා ධර්මදාස, සුජාතා, බෙග් මාස්ටර් වැනි එකල ජනප‍්‍රිය ගායන ශිල්පීන් ඇතුළත් වුණා. ඒත් එම පිරිසට එච්.ආර් ජෝතිපාල අයත් වුණේ නැහැ. ඔහු ගීත කැසට්පට සඳහා යොමුවුණේ පසුවයි. එකල ඔහුට සිනමාවේ ස්ථිර හඬක් (ෆිල්ම් වොයිස්) ලෙස පැවැත්මක් සහතික වී තිබුණා.එදා මෙහි කැසට්පට නිෂ්පාදන පහසුකමි නොතිබූ නිසා සිංගප්පූරුවට යවන ලද ගීත තොගයෙන් ගීත කැසට් පටයක් ලෙස නිෂ්පාදනය වී පළමුව මෙරටට පැමිණියේ මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත කැසටය පමණයි. එම නිසා මෙරට වෙළෙඳපළට පැමිණි පළමු ගීත කැසට්පටය වීමේ වාසනාව මල්ලවාරච්චිට හිමිවුණා.

ඊට සතියකට පමණ පසුව තමයි මා ඇතුළු අනෙක් ගායන ශිල්පීන්ගේ නිර්මාණයන් වෙළෙඳපලට පැමිණියේ. එදා කැසට්පටයේ සිංහල වැකි සඳහන්වී තිබුණේ නැහැ. සියලුම දේ ඉංග‍්‍රීසියෙන් පමණයි මුද්‍රණය වී තිබුණේ. ශ‍්‍රී ලංකාවේ කැසට් කවරමුද්‍රණයවනතෙක් සිංහල අකුරු ගීත කැසට් කවර සඳහා එක්වූයේ නැහැ. කැසට් නිෂ්පාදනය වේගවත්වීමත් සමග සියලු දේ මෙහි නිෂ්පාදනය වෙන්න පටන් ගත්තා.අලුතෙන් ශබ්දාගාර ආරම්භ වුණා. කැසට් නිෂ්පාදකයින් රැසක් බිහිවුණා

ඔබ සහ හේමසිරි හල්පිට සුසංයෝගයෙන් ගීත රැසක් බිහිවුණා නේද?

ඔව්. ඔය සුසංයෝගයට ලාල් තේනබදු සංගීතඥයාගේ නමත් එකතු විය යුතුයි. හල්පිට ලියූ’ගුණේ අයියාගේ කාමරේ’ගීතය අසීමිතව ජනප‍්‍රිය වුණා. ඉන්පසු සමාජයේ අප දකින චරිත, සිදුවීම්සහ කාලෝචිත මාතෘකාද හල්පිට වෙතින් රචනා වුණා. සමහර ගීත සඳහා අපේ හිතවතුන්ද අදහස් ලබා දුන්නා. ගීතවලින් නව අදහස් සමාජගත වූ නිසා මා ගැයු සෑම කැසට්පටයක්ම රසිකයින් ආදරයෙන් පිළිගත්තා. ඒ රසික ප්‍රසාදය කැසට්පට සියයක් කරා මාව වේගයෙන් ඉදිරියට ගෙන යෑමට මෙරට ගීත රසිකයින් මා වටා රොක්වුණා.

මේ වෙද්දිපියෙකු, මුත්තනුවෙකු ලෙස’ඇරපන් කරාමේ’ වැනි ගීත ගැයීම ගැන  ඔබ අදකණගාටු වෙනවාද?

නැහැ. ජිප්සීස්ලා එදා ‘ළිඳ ළඟ සංගමය’ ගැන ගීත ගායනා කළා. ගමේළිඳ ළඟ වගේ තමයි නගරයේ පොදු වතුර පයිප්පය.එය වටා නගරයේ පීඩිත පන්තිය එක්වුණා. එය හල්පිට පදවැලක් බවට කිරීමෙන් මම එය ගීතයක් බවට පත් කළා. අදටත් මගේ පැවැත්මේ රහසක් ඇත්නම් ඒ ඒ කාලයේ තාලයට ගීත ගැයූනිසයි. බොහෝ දෙනෙකු නොදන්නවා වුණාට මාත් ගීත රැසක් රචනා කර තිබෙනවා.

අවසාන වශයෙන් වේග රිද්මයේගායනා ශෛලිය ගැන ඔබේ මතය කුමක්ද?

වේගය රටක තාරුණ්‍යය සමගයි බද්ධවී තිබෙන්නේ. තරුණ්‍යය ආවේගශිලී යැයි කියන සමාජයක් වේග රිද්මය ප‍්‍රතික්ෂේප කරන්න පිළිවන්. ඒත් එම සමාජයම මත්පැන් ටිකක් තොලගෑවිට වේග රිද්මයේ ගීතය ආදරයෙන් වැළැඳ ගන්නවා. සංගීතයේ රස නමය අතර වේග රිද්මයත් රසයක්. ඒත් එම රසයේ රහස ඇතැමෙක් ප්‍රසිද්ධියේ කීමට දක්වන්නේ මැළිකමක්.



ගාමිණි සරත් ගුණවර්ධන
Image may contain: 1 person, sitting and babyImage may contain: 2 people, people smiling
Image may contain: 1 person, smiling

Share This Article
Hiru Tv Blog
ජාත්‍යන්තර දුම්වැටි සහ මත්විරෝධී දිනය...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් වගේම ප්‍රේක්ෂක හදවත්වල නොමඳ...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top