මුහුණු පොතේ තිබූ දැන්වීමක් විශ්වාස කර නිවසේ සිට රැකියා කිරීමට ගිය ඉංගිරියේ කාන්තාවකට සිදුවූ දේ මෙන්න.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ක්‍රියාත්මක වන විවිධ වංචනික කණ්ඩායම් පිළිබඳව දිනෙන් දින අසන්නට ලැබෙන පසුබිමක, ෆේස්බුක් (Facebook) දැන්වීමක් විශ්වාස කර නිවසේ සිට රැකියා කිරීමට ගිය කාන්තාවකට සිය ලක්ෂ ගණනක මුදලක් අහිමි වීමේ පුවතක් ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අන්තර්ජාලය ඔස්සේ මෙලෙස කාන්තාවක මුළා කර රුපියල් ලක්ෂ 09කට ආසන්න මුදලක් වංචා කළ ගුවන් හමුදා නිලධාරියෙකු හා තවත් පුද්ගලයෙකු ඉංගිරිය පොලීසිය විසින් වහාම ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත හා බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචි, අවුරුදු 35ත් 40ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක්.
ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි විපතට පත් කාන්තාව විසින් කරන ලද නිල පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණා.
සිද්ධියේ ප්‍රධාන සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වංචාවට හසු වූ කාන්තාව නිවසේ සිට රැකියාව කිරීමේ අරමුණින් ඔහු ලබාදුන් බැංකු ගිණුම් අංකයකට මෙම මුදල් වරින් වර බැර කර තිබෙනවා.
නමුත් මාස ගණනක් ගත වුවද පොරොන්දු වූ රැකියා අවස්ථාව හෝ මුදල් ආපසු නොලැබීම නිසා ඇය පොලීසියට පැමිණිලි කර තිබෙනවා. එහිදී සිදුකළ සුවිශේෂී බැංකු ගිණුම් පරීක්ෂාවකදී මෙම වංචාවේ සුලමුල මුළුමනින්ම හෙළි වී තිබෙනවා.
ප්‍රධාන සැකකරු විසින් කාන්තාවගෙන් ලබාගත් මුදලින් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කරන නිලධාරියෙකුගේ ගිණුමකට බැර කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ ගුවන් හමුදා නිලධාරියාද සැකපිට අත්අඩංගුවට ගත්තා.
මොවුන් දෙදෙනා දිගු කලක සිට සංවිධානාත්මකව විවිධ ප්‍රදේශවල කාන්තාවන් මුලා කරමින් මෙලෙස මහා පරිමාණයෙන් මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විනිසුරුවරයා නියෝග කළ අතර, ඉංගිරිය පොලීසිය මේ පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශන පවත්වනවා.