හිරු උත්තම ධාතු වන්දනාවේ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත යළි වැඩමවීම අද..
ඓතිහාසික මහියංගණය පුදබිමේදී පුරා දින දෙකක් ලක්ෂ සංඛ්‍යාත සැදැහැ සිත් සැනසූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත යළි වැඩම කරවීම මේ වනවිට සිදු කෙරෙනවා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඊයේ (02) රාත්‍රියේ පල්ලේබැද්ද සංඛපාල රාජමහා විහාරස්ථානය වෙත වැඩම කෙරුණු අතර ඊයේ රාත්‍රියේ සිට අද (03) උදෑසන දක්වා එම විහාරස්ථානයේදී ධාතූන් වහන්සේ වන්දනා කිරීමේ අවස්ථාව සැදැහැවතුන්ට හිමිවනවා.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උදාරතර සංකල්පයක් මත ආරම්භ වුණු හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව සිදු කෙරුණු හිරු උත්තම ධාතු වන්දනාව ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී ආරම්භ කෙරුණේ පසුගිය 31 වනදායි.
දින දෙකක් පුරා ඓතිහාසික මහිංයංගණය පුණ්‍ය භුමියේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍ර වූණා.
ජීවමාන බුදුන් වහන්සේ දැකගැනීම හා සමාන පුණ්‍ය සම්භාරයක් සැදැහැවතුන්ට අත්කරදුන් හිරු උත්තම ධාතු වන්දනාව මහියංගන පුදබිමේදී අවසන් කෙරුණේ ඊයේ උදෑසනයි.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති කරඬුව වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත යළි වැඩම කරවීම සඳහා සකස් කෙරුණු විශේෂ කුටියේ තැන්පත් කෙරුණේ පැමිණ සිටි සැදැහැවතුන්ගේ සාධු නාදය මධ්‍යයේ.
ඒ අනුව, මග දෙපස රැඳී සිටි දහස් ගණන් ජනතාවටත් උතුම් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට ද අවස්ථාව උදාවුණා.
අනතුරුව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ රැගත් පෙරහර බිබිල, මැදගම හා නක්කල නගර පසුකරමින් දහවල් සම්බුද්ධ පූජාව සඳහා ඵෙතිහාසික යුධගනාව රජමහා විහාරස්ථානය වෙත වැඩම කෙරුණා.
අනතුරුව සර්වඥ ධාතුන් වහන්සේ ඊයේ රාත්‍රියේ පල්ලෙබැද්ද සංඛපාල රාජමහා විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබුවා.
සර්වඥ ධාතූන් වහන්සේ, සුවහසක් සැදැහැවතුන්ගේ වන්දනාව උදෙසා අද පස්වරුවේ රත්නපුර නගර මධ්‍යයේ තැන්පත් කිරීමට සූදානම් කර ඇති අතර අනතුරුව ගිලන්පස පූජාව පවත්වා සර්වඥ ධාතූන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත යළි වැඩම කරවීමට නියමිතයි.