පසුගියදා ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැති ලෝක තරුණ විද්යාඥයන්ගේ සමුළුවේදී රුසියාව, ප්රංශය, ජර්මනිය ආදී ප්රබල රටවල් 40ක තරගකරුවන් 300ක් අතරින් කොළඹ නාලන්දා විද්යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන රකිඳු රන්දිව් වික්රමරත්න සිසුවා රිදී පදක්කම දිනා ගන්න සමත් වුණා.
මේ සිසුවා පාරිසරික විද්යා අංශයෙන් ඉදිරිපත් කළ පරිසර තත්ත්වයන් නිසා ගස්වල පරාග මත තැන්පත් වන වායු දූෂක මඟින් ඇදුම රෝගය වඩා තීව්ර වන බවට කළ පර්යේෂණයට මොහු තරගයෙන් රිදී පදක්කම හිමි කරගත්තා.
මේ තරගයට සහභාගි වූ ළාබාලතම තරුණ විද්යාඥයා වන්නේත් ඔහුයි. 2016 _ 2017 වසරේ දී ශ්රී ලංකාවේ ජාතික විද්යා පදනම මඟින් පැවැත්වූ හොඳම තරුණ විද්යාඥයා තේරීමේ තරගයෙන් ඔහු ප්රථම ස්ථානය ලබා ගත් අතර ලෝක තරුණ විද්යාඥයන්ගේ සමුළුවට සම්බන්ධ වීමටද ඔහුට හැකියාව ලැබුණා.
තරුණ විද්යාඥයන්ගේ සමුළුව 24 වැනි වතාවට මෙවර ජර්මනියේ පැවති අතර ලංකාවෙන් ඒ සඳහා තරගකරුවකු සහභාගි වී ඇත්තේ ප්රථම වතාවටයි.
ජාත්යන්තර මහාචාර්යවරුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් පසුගිය 16 වැනිදා සිට 21 දින දක්වා සතියක් පුරාවට මේ තරගය විනිශ්චය කළ අතර දකුණු ආසියාවෙන් මේ තරගය සඳහා සහභාගි වී ඇත්තේ ඉන්දියාව පමණක් බවත් වාර්තා වෙනවා.