වසර 15කට පසු යළිත් එකම වේදිකාවකින් බොලිවුඩයම හොල්ලන්න ආපු ෂාරුක් සහ කරීනා.. අතීත මතකයන් අලුත් කරමින් 'King' චිත්‍රපටයේ 'Daddy Cool' ගීතය නිකුත් වෙයි..
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය තරු යුවළක් වන ෂාරුක් ඛාන් සහ කරීනා කපූර් ඛාන් වසර 15කට පසු යළිත් තිරය මත එක්ව තිබෙනවා.
ඒ, ඔවුන් රංගනයෙන් දායක වන නවතම සිනමාපටය වන 'King' චිත්‍රපටයේ ඇතුළත් 'Daddy Cool (King Version)' නර්තන ගීතය නිකුත් වීමත් සමඟයි.
Boney M කණ්ඩායමේ ජනප්‍රිය ඩිස්කෝ ගීතයක බොලිවුඩ් ප්‍රතිනිර්මාණයක් වන මෙම ගීතය හරහා, ෂාරුක් සහ කරීනාගේ ඒ සුපුරුදු ආකර්ෂණීය රසායනය යළිත් වරක් ප්‍රේක්ෂකයන් අතරට පැමිණ තිබෙනවා.
නොවැම්බර් 27 වැනිදා නිකුත් කෙරුණු මෙම ගීතයේ නර්තන වින්‍යාසය වෛභවි මර්චන්ට් (Vaibhavi Merchant) විසින් සිදු කර ඇති අතර, Sachin-Jigar දෙපළ විසින් සංගීතවත් කර තිබෙනවා.
කුමාර් (Kumaar) විසින් හින්දි පද රචනය කර ඇති මෙම ගීතයට සිය මධුර හඬ මුසු කර ඇත්තේ අරිජිත් සිං සහ ශිල්පා රාඕ විසිනුයි.
2011 වසරේ තිරගත වූ 'Ra.One' චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය වූ 'Chammak Challo' ගීතයෙන් පසු දශකයකටත් වැඩි කාලයකට පසුව මොවුන් දෙදෙනා මෙලෙස තිරය මත එක්වීම රසිකයන්ගේ පැරණි මතකයන් අලුත් කිරීමට සමත්ව තිබෙනවා.
මෙම ගීතය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ බෙදාගනිමින් ෂාරුක් ඛාන් සඳහන් කර තිබුණේ "Back with Bebo… song Old School… but still Cool!" යනුවෙනුයි.
Meta’s House of Instagram 2026 උත්සවයේදී එළිදැක්වුණු මේ ගීතය යූටියුබ් නාලිකා ඔස්සේ නැරඹීමට හැකියාව පවතිනවා.
මෙය 'King' චිත්‍රපටයෙන් නිකුත් වූ දෙවැනි ගීතය වන අතර, මීට පෙර නොවැම්බර් 2 වැනිදා ෂාරුක් සහ දීපිකා පදුකෝන් පෙනී සිටි 'Tu Mil Jaaye' ගීතය නිකුත් කෙරුණා.
සිද්ධාර්ත් ආනන්ද්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ගෞරි ඛාන්ගේ Red Chillies Entertainment මෙන්ම සිද්ධාර්ත් සහ මම්තා ආනන්ද්ගේ Marflix Pictures නිෂ්පාදනයෙන් හැඩවන 'King' චිත්‍රපටයට සුහානා ඛාන්, අභිෂේක් බච්චන්, ජැකී ෂ්රොෆ්, අර්ෂාද් වර්සි සහ රාඝව් ජුයාල් වැනි නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වනවා.
ඊට අමතරව කරීනා කපූර්, දීපිකා පදුකෝන් සහ රාණි මුඛර්ජි මෙහි විශේෂ ආරාධිත රංගනයන්ගෙන් එක්වීමට නියමිතයි.
2023 වසරේ තිරගත වූ 'Dunki' චිත්‍රපටයෙන් පසු ෂාරුක් ඛාන් යළිත් රිදී තිරයට පැමිණෙන 'King' සිනමාපටය 2026 දෙසැම්බර් 24 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතව තිබෙනවා.