ඉන්දියාව ආශ්රිත "ඔර්නබ්" සුළි කුණාටුව දුර්වල වෙයි.. ගැඹුරු මුහුදු ප්රදේශ සඳහා වූ අනතුරු ඇඟවීම් ඉවත් කරයි..
ඉන්දියාවේ උතුරු වෙරළබඩ ආන්ද්ර ප්රදේශය අශ්රිතව පැවති “ඔර්නබ්” (Aab) සුළි කුණාටුව, මේ වන විට, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මෙම පද්ධතිය තවදුරටත් ආසන්න වශයෙන් උතුරු දෙසට ගමන් කරමින්, අද (29) දින උදෑසන වන විට පීඩන අවපාතයක් දක්වාත්, අද ප.ව. 5.30 වන විට අඩු පීඩන කලාපයක් දක්වාත් දුර්වල වීමට ඉතා වැඩි ඉඩකඩක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශයට මෙම පද්ධතියේ බලපෑම අද දිනය තුලදී ක්රමයෙන් අඩු වනු ඇති.
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශවල බහුදින ධීවර බෝට්ටු සහ නාවික ක්රියාකාරකම් වැළැක්වීම සඳහා නිකුත් කරන ලද අනතුරු ඇඟවීම ඉවත් කරන බවත් එම නිවේදනයේ සඳහන්.
මේ අතර දිවයින වටා වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වෙනවා.
පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 දක්වා ඉහළ යා හැකියි.
පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.