ප්ලූටෝටත් ඔබ්බෙන් වාමන ග්රහලෝකයක් වීමට ඉඩ ඇති අභ්යවකාශ වස්තුවක්.. විශ්වයේ විශාලතම අභිරහසක් එළියට..
ලී රාජ්ය පදනම් කරගත් දුරේක්ෂයක් භාවිත කරන විද්යාඥයින් විසින් ප්ලූටෝට ඔබ්බෙන් කක්ෂගතව ඇති හිමෙන් බරිත අභ්යවකාශ වස්තුවක් හඳුනාගෙන ඇති අතර, එය අපගේ සෞරග්රහ මණ්ඩලයේ වාමන ග්රහලෝක (Dwarf planets) ලැයිස්තුවට එක්වීමට ඉඩ ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.
2026 ED138 ලෙස නම් කර ඇති මෙම අභ්යවකාශ වස්තුවේ විෂ්කම්භය දළ වශයෙන් සැතපුම් 370 ත් 930 ත් අතර (කිලෝමීටර් 600 ත් 1,500 ත් අතර) වන බවත්, එය පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර මෙන් 46 ගුණයක් පමණ ඈතින් කක්ෂගතව පවතින බවයි පර්යේෂකයෝ පවසන්නේ.
සසඳා බලන විට, ප්ලූටෝ ග්රහලෝකය කක්ෂගතව ඇත්තේ පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර මෙන් සාමාන්යයෙන් 40 ගුණයක් ඈතින්.
මෙම වස්තුව නිරීක්ෂණය කර ඇත්තේ මධ්යම චිලී හි සෙරෝ පචොන් (Cerro Pachón) පර්වත මුදුනේ පිහිටි නව වේරා සී. රූබින් නිරීක්ෂණාගාරය (Vera C. Rubin Observatory) මගින්.
මෙම දුරේක්ෂය එක්සත් ජනපද ජාතික විද්යා පදනමේ (US National Science Foundation) සහ එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ එකමුතු ව්යාපෘතියකි.
මෙම වස්තුව සැබවින්ම වාමන ග්රහලෝකයක් බව තහවුරු කිරීමට තවත් නිරීක්ෂණ අවශ්ය වෙනවා.
එය තහවුරු වුවහොත්, 2026 ED138 වස්තුව, ජාත්යන්තර තාරකා විද්යා සංගමය (IAU) විසින් දැනට පිළිගෙන ඇති අනෙකුත් වාමන ග්රහලෝක පහට එක්වනු ඇති.
ඒ තාරකා විද්යා සංගමය විසින් පිළිගෙන ඇති, නෙප්චූන් ග්රහලෝකයට ඔබ්බෙන් කක්ෂගත වන ප්ලූටෝ (Pluto), ඊරිස් (Eris), හෝමියා (Haumea), මැකිමැකි (Makemake) සහ අඟහරු සහ බ්රහස්පති අතර ප්රධාන ග්රහක බලප්රදේශයේ පිහිටි සීරිස් (Ceres) ය.
මෙම නිරීක්ෂණාගාරය පික්සල බිලියන 3.2 ක දැවැන්ත කැමරාවකින් සමන්විත වන අතර, එය සෑම රාත්රී තුනකට හෝ හතරකට වරක් දෘශ්යමාන දකුණු අහස සම්පූර්ණයෙන්ම ඡායාරූපගත කරමින්, අභ්යවකාශයේ සිදුවන වෙනස්කම් නිරන්තරයෙන් යාවත්කාලීන වාර්තාවක් ලෙස ලබා දෙනවා.
AURA හි චිලී දූත මණ්ඩල විද්යාඥ සහ NOIRLab හි නියෝජ්ය අධ්යක්ෂ ස්ටුවර්ට් කෝඩර් (Stuartt Corder) පැවසුවේ, "රූබින් යනු විශ්වය දෙස සැබවින්ම නිරීක්ෂණය කරන නව ආකාරයක ක්රමයක්.
සාම්ප්රදායික තාරකා විද්යාවේදී සිදුවූයේ අහසේ කුඩා කොටස්වල ඡායාරූප (Snapshots) ගැනීම වුවත්, මෙය රාත්රී අහසේ සිනමාපටයක් (Movie) වැනි එක දිගට දිගහැරෙන දසුනක් ලබා දෙයි." යනුවෙනි.
රූබින් දුරේක්ෂය මගින් අහසේ විශාල ප්රදේශ නැවත නැවතත් පරීක්ෂා කරමින්, තාරකා, ගැලැක්සි සහ අනෙකුත් වස්තූන් කාලයත් සමඟ පරිණාමය වන ආකාරය නිරීක්ෂණය කරනු ඇති.
තාරකාවක් පුපුරා යන විට, ග්රහකයක් ආසන්නයෙන් ගමන් කරන විට හෝ නාඳුනන වස්තුවක් හදිසියේ දර්ශනය වන විට තාරකා විද්යාඥයින්ට ඒ පිළිබඳව අනතුරු ඇඟවීම් ලැබෙන අතර ඒවා නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙනවා.
එසේම රූබින් දුරේක්ෂය හරහා අඳුරු පදාර්ථ (Dark matter) සහ අඳුරු ශක්තිය (Dark energy) පිළිබඳ වැඩිදුර තොරතුරු රැස්කර ගනිමින් විශ්වයේ ඇති විශාලතම අභිරහස් කිහිපයක් විසඳීමට මෙන්ම අපගේ සෞරග්රහ මණ්ඩලයේ සහ ගැලැක්සිය තුළ ඇති වස්තූන් පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් සකස් කිරීමට පර්යේෂකයෝ බලාපොරොත්තු වෙන බවයි විදෙස් මාධ්ය පවසන්නේ.
මූලාශ්රය - රොයිටර්ස්