රැප් ගායිකා නිකී මිනාජ්, ට්රම්ප් සමඟ මැතිවරණ වේදිකාවට ගොඩවෙයි.. මිනාජ්ගේ රූපය අගයමින් ඩොනල්ඩ් ට්රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක්..
Monday, 26 October 2026 - 16:10 | Views - 28

එළඹෙන අමෙරිකානු මධ්යවාර මැතිවරණය (Midterm elections) වෙනුවෙන් පැවැති ප්රචාරක රැළියකට එක්වෙමින්, ප්රකට රැප් ගායිකා නිකී මිනාජ් (Nicki Minaj) ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් රටේ "ශක්තිය වෙනස් කර ඇති" බව ප්රකාශ කරනවා.
මිචිගන් (Michigan) ප්රාන්තයේ පෝට් හුරොන් හි පැවැති මෙම රිපබ්ලිකන් ප්රචාරක රැළියට ට්රම්ප් සමඟ එක්වූ නිකී මිනාජ්, "අපට බලාපොරොත්තු තැබිය හැකි අනාගතයක් ඔහු විසින් ලබා දී තිබෙනවා" යනුවෙන් සඳහන් කළා.
වේදිකාවට පැමිණි නිකී මිනාජ්ගේ රූපශ්රීය සහ ශරීර ප්රමාණය අගය කරමින් කතා කළ ජනාධිපති ට්රම්ප්, "මම මීට පෙර අතිශය ලස්සන සිරුරක් දෙස බලා සිටියා. ඒ නිකී මිනාජ්. එය අමතක කරන්න අමාරුයි" යනුවෙන් පැවසූ බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
එමෙන්ම ඇය වේදිකාවෙන් නික්ම යද්දී, "ඇය තරම් ලස්සනට මීට පෙර කිසිදිනක පෙනී නැහැ. ඇයට හොඳ නුවණක් තියෙනවා" යනුවෙන් ද ට්රම්ප් සඳහන් කර තිබෙනවා.
නොවැම්බර් 3 වනදා පැවැත්වීමට නියමිත මෙම අන්තර්වාර මැතිවරණයේදී කොංග්රස් මණ්ඩලයේ බලය හිමිවන්නේ කවර පක්ෂයටද යන්න තීරණය වන අතර, මිචිගන් ප්රාන්තයේ සෙනෙට් අසුන සඳහා ඩිමොක්රටික් පාක්ෂික අබ්දුල් එල්-සයීඩ් (Abdul El-Sayed) සහ රිපබ්ලිකන් පාක්ෂික මයික් රොජර්ස් (Mike Rogers) අතර කරට කර සටනක් පවතිනවා.
ජනාධිපතිවරයාගේ 'එයාර් ෆෝස් වන' (Air Force One) නිල ගුවන් යානයෙන්ම මෙම ප්රචාරක රැළිය සඳහා පැමිණි නිකී මිනාජ්, ධවල මන්දිරයේ මාධ්ය ලේකම් ධුරය සඳහා සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන ආකාරයේ විනෝදාත්මක වීඩියෝවක් ද ගුවන් යානය තුළදී පටිගත කර සමාජ මාධ්ය වෙත මුදාහැර තිබුණා.
Share This Article