ජීවිතය කියාදීමෙන් නොනැවතී ජීවිතය රැකදීමට ගොස් නික්ම ගිය දිසාපාමොක්වරයා.. කිරින්දේදී සිදුවූ සංවේදී සිදුවීම..
Thursday, 08 October 2026 - 19:01 | Views - 28
ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර පවා ප්‍රමුඛස්ථානයේ පවතින්නේ ගුරු වෘත්තිය බවට විවාදයක් නැහැ.

ලොව ඉහළම වෘත්තීන්වල නිරත ඕනෑම පුද්ගලයෙකුට ඒ ගමන්මගේ ඇරඹුම සඳහා සිප්සතර මෙන්ම ගුරුහරුකම් ලැබෙන්නේ ගුරු මව්පියන් ගෙන්.

වෘත්තියකටත් එහා ගිය ඒ විශිෂ්ඨ සේවාව සමරන අද දවසේ අපේ මේ සටහන ජීවිතය කියාදීමෙන් නොනැවතී ජීවිතය රැකදීමටත් එඩිතර වු ගුරු පියෙකු පිලිබඳවයි.

කුඩා කල දෙගුරුන්ගේ ආදරය සෙවණේ හැදී වැඩෙන අපකාගේත් ජීවිතවල මීළඟ පරිච්ඡෙදය භාරගන්නා උතුම් පිරිස ගුරුවරුන්.

පෙර පාසැල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා සිප් සතර හදාරා ජීවිතය ජය ගැනීමට ඔවුන් සියලු දෙනා දරන්නේ සුළුපටු වගකීමක් නොවේ.

එහිදී ගුරුවරයා විටෙක මව,පියා,සහෝදරයා මෙන්ම හොඳම යහළුවා ලෙසින් ද අපේ ජීවිතවල ආදරණීය චරිතයක් නිරූපණය කරනවා.

පාඩම් පොතේ පිටු අතර දැනුම පමණක් නොව ජීවිත පොතේ අසීරු පරිච්ඡේද අප කියවා ගන්නේ ගුරුවරුන් තම වගකීමටත් වඩා පෙරදැරිකරගත් වගවීම හේතුවෙන්.

එවන් වටිනා ගුරු මව්පියවරුන් අතර දෙවිවරයෙක් වූ දිසාපාමොක්වරයෙකු පිළිබඳවයි මේ දිගහැරුම.

දිනය මේ වසරේ මැයි මස 26 වැනිදා...

මොනරාගල බඩල්කුඹුර වයිකුඹුර ඥාන මුදල්වා විද්‍යාලයේ වාර්ෂික පාසැල් චාරිකාව සඳහා ගුරු භවතුන් සිසු සිසුවියන් පිටත්ව තිබුණේ නගුර පිච්චෙයි මොහමදු නම් ගුරුවරයාද සමඟයි.

එහිදී ඔවුන් කිරින්ද මුහුදු තීරයට ද ගොස් තිබූ අතර සිසුන් සහ ගුරුවරුන් කිහිප දෙනෙකු මුහුදේ දිය නෑමට ද ගොස් තිබෙනවා...

දිය නාමින් සිටි පිරිස අතරින් සිසුවියක් එකවරම දිය වැලකට හසුවී දියඹට ඇදී ගොස් ඇත්තේ ඒ අතරතුරයි.

ඇය මුහුදේ ගසාගෙන යන බව දුටු මොහමදු ගුරුමහතා මුහුදට පැන පිහිනාගොස් ඇයව බේරාගැනීමට උත්සාහ කර තිබුනේ තම ජීවිතය ගැනද නොසිතායි.

කෙසේවෙතත් එම උත්සාහය ව්‍යර්ථ කරමින් සිසුවිය මෙන්ම එම ගුරුවරයා ද ගැඹුරු මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් තිබුණා.

එම අවස්ථාවේ එහි පැමිණි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් සහ ගම්වාසීන් එක්ව දැඩි පරිශ්‍රමයකින් පසු සිසුවිය සහ ගුරුවරයා ගොඩට ගෙන තිස්සමහාරාමය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා.

කෙසේවෙතත් සිය පාසැල් දැරියකගේ දිවි රැක ගැනීමට පෙරට ආ ගුරු පියාණන් ජීවිතයට සමු දුන්නේ ඔවුන්ගේ පාසැල් චාරිකාව ශෝකාන්තයකින් නිමා කරමින්.

මොහමදු ගුරුතුමාගේ පවුලේ උදවියට දයාබර සැමියෙකු පුත්‍රයෙකු අහිමි ව ගියත් ඒ ශෝකය පරදන අභිමානයක් ඒ වීරයා වෙනුවෙන් සදා රැඳෙන බවට සැකයක් නැහැ.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top