හැමෝම නම් දාන්න පොරකාපු හිපෝ පැටවාගේ නම “මෝමෝ”.. දෙහිවල හිපෝ පැටවාගේ අලුත්ම විස්තරය..
Friday, 02 October 2026 - 16:46 | Views - 32

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී පසුගියදා උපත ලැබූ නයිල් හිපෝ පැටවාට නමක් යෝජනා කිරීම සඳහා පැවැත්වූ විශේෂ තරගයෙන් තෝරාගත් නම ඊයේ (01) යෙදී තිබූ ලෝක ළමා දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එලෙස තෝරාගත් නම වන්නේ “මෝමෝ” යන්නයි.
මෙම හිපෝ පැටවාට නමක් යෝජනා කිරීමේ තරගය සඳහා දිවයින පුරා සිටින කුඩා දරුවන් රැසක් ඉතා ආදරයෙන් හා උනන්දුවෙන් සහභාගී වී ඇති අතර, ඒ සඳහා යෝජිත නම් 1,000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබූ බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඉදිරිපත් වූ සියලුම නම් අතරින් දෙහිවල සත්වෝද්‍යානයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් විසින් සලකා බැලීමෙන් අනතුරුව මෙම “මෝමෝ” යන නම තෝරාගෙන තිබෙනවා.
“මෝමෝ” යන නම ප්‍රථමයෙන්ම යෝජනා කරන ලද අවන්ධා ටමාරි නම් පුංචි දියණිය වෙත ත්‍යාග පිරිනැමීම ද ඊයේ දිනයේ දෙහිවල සත්වෝද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වුණා.
ආදරණීය “මෝමෝ” වෙත දැක්වූ ආදරය සහ සෙනෙහස වෙනුවෙන් දරුවන් ඇතුළු සියලු දෙනාට ස්තූතිය පළ කරන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, අලුත උපන් හිපෝ පැටවා දැකබලා ගැනීම සඳහා දෙහිවල සත්වෝද්‍යානය වෙත පැමිණෙන ලෙස මහජනතාවට ආරාධනා කර සිටිනවා.
Share This Article