මාරක එන්නත් 2ක් විදලත් දිවි බේරාගත් තරුණිය.. අමෙරිකාවම කැළඹූ අසාමාන්‍ය සිදුවීම මෙන්න..
අමෙරිකා එක්සත් ජනපදයේ ටෙනෙසි ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වී සිටි ක්‍රිස්ටා පයික් නම් කාන්තාවට අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදුන් මාරක ඖෂධ මාත්‍රා දෙකකින් පසුවත් ඇය ජීවත්ව සිටීම හේතුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අසාර්ථක වී තිබෙනවා.
වයස අවුරුදු 18දී මරණ දඬුවමට නියම වූ ක්‍රිස්ටා පයික්, ටෙනෙසි ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වූ ලාබාලම කාන්තාවන් අතුරින් අයෙක් ලෙස සැලකෙනවා.
1995 ජනවාරි මාසයේදී ඇය සහ ඇයගේ එවකට පෙම්වතා විසින් 19 හැවිරිදි කොලීන් ස්ලේමර් නම් තරුණිය ඝාතනය කර ඇති අතර, එම සිදුවීමට අදාළව 1996 වසරේදී ක්‍රිස්ටා පයික් වරදකරු කරමින් අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබුණා.
ඇයගේ පෙම්වතාගේ වයස එම අවස්ථාවේදී අවුරුදු 17ක් වීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වුණා.
ක්‍රිස්ටා පයික්ගේ නීතිඥයින් විසින් විවිධ අභියාචනා ඉදිරිපත් කර තිබුණද, ඊයේ දිනයේදී ඇයට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඇයට 'පෙන්ටොබාර්බිටල්' නමැති මාරක ඖෂධ මාත්‍රා දෙකක් ලබාදීමට කටයුතු කළද, ඇය සිහිසුන් නොවී ජීවත්ව සිටීම හේතුවෙන් දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙනවා.
මෙම අසාමාන්‍ය තත්ත්වය හමුවේ ක්‍රිස්ටා පයික් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලක් වෙත රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර, ටෙනෙසි ප්‍රාන්තයේ කාන්තාවකට මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර ඇත්තේ වසර 200කට පසුව වන අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ටෙනෙසි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා නියෝග කර තිබෙනවා.