වතුර බෝතලයක් රුපියල් 20ක් වැඩියෙන් විකුණලා.. බම්බලපිටියේ ආපනශාලාවකට ලක්ෂ 10ක දඩයක්..
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම සම්බන්ධයෙන් බම්බලපිටිය ප්‍රදේශයේ ආපනශාලාවකට රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) දඩයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අංක 5 අධිකරණය නියෝග කර තිබෙනවා.
අදාළ ආපනශාලා සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පවරා තිබූ නඩුවේදී, අධිකරණය හමුවේ එම සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩ මුදල නියම කර ඇති බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කළා.
අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති අංක 96 දරන නියෝගයට අනුව, මිලිලීටර් 500 සිට මිලිලීටර් 999 දක්වා වන බෝතල් කළ පානීය ජලය සඳහා නියමිත උපරිම සිල්ලර මිල රුපියල් 80ක් වනවා.
කෙසේ වෙතත්, අදාළ ආපනශාලාව විසින් මිලිලීටර් 500ක පානීය ජල බෝතලයක් නියමිත උපරිම සිල්ලර මිලට වඩා රුපියල් 20ක් වැඩියෙන්, එනම් රුපියල් 100ක මුදලකට අලෙවි කර ඇති බවටයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ගැසට් නිවේදනයක් මගින් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අවස්ථාවලදී ආපනශාලා, හෝටල් හෝ වෙනත් ඕනෑම වාණිජ ස්ථානයකදී වුවද බෝතල් කළ පානීය ජලය එම නියමිත මිලට වඩා වැඩි මුදලකට අලෙවි කිරීම සපිරිනම තහනම් බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරනවා.