අධික වේගය නිසා බගවන්තලාවෙන් මහා අනතුරක්.. ත්‍රිරෝද රථය මාර්ගය හරහා පෙරළෙයි..
හැටන් සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (01) උදෑසන 6.00ට පමණ බගවන්තලාව වත්ත ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරළී යාමෙන් එහි ගමන් කළ දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි පසුපස අසුනේ ගමන් කළ කාන්තාවක මෙලෙස තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය සඳහන් කරනවා.