ලෝක සිනමා ලෝලීන්ගේ අවධානය දිනාගත් පිංයාඕ සිනමා උළෙල ඇරඹෙයි.. AI රොබෝවරුන්ගේ විස්මිත ඩාන්ස් එක මෙන්න..
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ නගරයේදී 10 වන "Pingyao Crouching Tiger Hidden Dragon" අන්තර්ජාතික සිනමා උළෙල පසුගිය සැප්තැම්බර් 24 වැනිදා අතිඋත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුණා.
සිනමා උළෙලේ සමාරම්භක රාත්‍රිය තවත් අලංකාර කරමින් Unitree සමාගමේ නිර්මාණයක් වන AI රොබෝවරුන්ගේ අපූර්ව නර්තනයක්ද වේදිකා ගත වූ අතර, පසුගිය ගිම්හානයේදී සමුගත් ටෝනි රේන්ස්, ෂී නන්සුන්, සයිමන් ෆීල්ඩ් සහ ගුඕ ලැන්යැං යන ක්ෂේත්‍රයේ ප්‍රබලයින් සිවුදෙනා වෙනුවෙන් විශේෂ ප්‍රණාමයක්ද මෙහිදී පුද කරනු ලැබුවා.
එමෙන්ම පෙරදිග සහ අපරදිග සිනමා සංස්කෘතීන් යා කරමින් කළ සේවය උදෙසා හොංකොං නව රැල්ලේ සිනමාකාරිනියක වන ඈන් හුයි (Ann Hui) වෙත "Crouching Tiger Hidden Dragon East-West" සම්මානය පිරිනැමූ අතර, එහිදී සියලු දෙනාම නැගී සිටිමින් ඇයට සිය උණුසුම් ප්‍රණාමය පුද කළා.
මෙම අතිදැවැන්ත සිනමා උළෙලේ නිර්මාතෘ ජියා ෂැංකේ (Jia Zhangke) ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රබලයින් රැසක් එක්වූ අතර, ප්‍රකට රංගන ශිල්පී හුවැං බෝ (Huang Bo) සහ ලී සින්ජේ (Lee Sinje) ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
චීන Wu Tiao Ren සංගීත කණ්ඩායමේ විනෝදාත්මක ඉදිරිපත් කිරීම්වලින් සහ "Spring in a Small Town" ප්‍රතිසංස්කරණය කරන ලද සිනමාපටය තිරගත කරමින් ආරම්භ වූ මෙම විශේෂිත සිනමා උළෙල එළඹෙන සැප්තැම්බර් 30 වැනිදා දක්වා පුරා සතියක් තිස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මූලාශ්‍රය: Variety