පොත් වලට ආදරේ කරන අය අද ඉඳන් යන්න ඕන තැන මෙන්න.. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි..
ලංකාවේ පොත් පත් වලට ආදරය කරන සුවහසක් පාඨකයින් වසරක් පුරා නොඉවසිල්ලෙන් මඟ බලා සිටි "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" අද (25) සිට නිල වශයෙන් ආරම්භ වන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය නිවේදනය කළා.
ඒ අනුව අද (25) දින සිට එළඹෙන ඔක්තෝබර් මස 04 වැනිදා දක්වා පුරා දින 10ක් තිස්සේ උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී මෙම අතිඋත්කර්ෂවත් පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.
මෙහිදී ප්‍රදර්ශන පරිශ්‍රයට පැමිණෙන පාඨකයින් හට නවකතා, කෙටිකතා, පද්‍ය, සිනමා, පර්යේෂණ, අධ්‍යාපනික මෙන්ම පරිවර්තන කෘති ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන දහස් ගණනක් වූ පොත් පත් විශේෂ වට්ටම් සහිතව මිලදී ගැනීමට හැකියාව ලැබෙන අතරම, නව පොත් එළිදැක්වීම් සහ ජනප්‍රිය කතුවරුන් හමුවීමේ සුවිශේෂී අවස්ථාවද හිමි වනවා.
එමෙන්ම මෙවරත් පොත් ප්‍රදර්ශනය නැරඹීමට දිවයිනේ නා නා තදින් පැමිණෙන ජනතාවගේ සහ පාඨකයින්ගේ පහසුව උදෙසා විශේෂ බස් රථ සේවාවක්ද ක්‍රියාත්මක කර ඇති බව සංවිධායකයින් සඳහන් කළා.
වසරක් පාසා පැවැත්වෙන මෙම දැවැන්ත සංස්කෘතික සැණකෙළිය සඳහා ලක්ෂ සංඛ්‍යාත පාඨකයින් පිරිසක් සහභාගී වන අතර, මෙවරත් අතිවිශාල ජනකායක් BMICH පරිශ්‍රය වෙත ඇදී එනු ඇති බවට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විශ්වාසය පළ කරනවා.