සුපුරුදු රිද්මයෙන් පළමු එක්දින තරගයත් ලකුණු 89කින් පරාජයට පත් වූ සිංහයෝ..
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 89ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48.1කදී සියලු දෙනා දැවී ලකුණු 265ක් රැස් කිරීමට සමත් වුණා.
එංගලන්ත ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක හැරී බෘක් ලකුණු 67ක් රැස් කළ අතර, විල් ජැක්ස් නොදැවී ලකුණු 46ක් ලබා ගනිමින් ඉනිමේ අවසන් භාගයේදී ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දුන්නා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම වරට එක්දින තරගයකට ක්‍රීඩා කළ සචින්දු කොළඹගේ කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 44කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 176ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 42ක්ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 45ක්ද ලබා ගත් අතර, වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසු කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.
පන්දු යැවීමේදී තුන්ඉරියව් දක්ෂතා දැක්වූ විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 5ක් දවා ගනිමින් එංගලන්ත කණ්ඩායම පහසු ජයක් කරා ගෙන යාමට සමත් වුණා.