කැලණි, කළු, ගිං, නිල්වලා සහ අත්තනගලු තවමත් අවදානම්.. අයහපත් කාලගුණයේ අලුත්ම තත්ත්වය මෙන්න..
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණි, කළු, ගිං, නිල්වලා යන ප්‍රධාන ගංගාවල මෙන්ම අත්තනගලු ඔයේද ජල මට්ටම් තවදුරටත් අවදානම් මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම වාර්තාවලට අනුව, කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව අනාවරණය වුණා.
මේ අතර, දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපයේ සුළං ප්‍රවාහය හේතුවෙන් නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේදී මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.
පසුගිය පැය 24 තුළ මිලිමීටර් 206ක වැඩිම වර්ෂාපතනය රත්නපුර - කුකුළේගඟ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර නුවරඑළිය - නෝටන් ප්‍රදේශයට මිලිමීටර් 134ක සහ කුලියාපිටිය ප්‍රදේශයට මිලිමීටර් 126ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.