UNESCO ලෝක උරුම Ngorongoro රක්ෂිතයට වුණු අවාසනාවන්ත දේ.. සිංහයන් 10 දෙනෙකුගේ ජීවිත එකපාරටම නැතිවෙයි..
ටැන්සානියාවේ සුප්‍රකට UNESCO ලෝක උරුමයක් වන Ngorongoro වනජීවී අභයභූමිය තුළ සිංහයින් 10 දෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අරුෂා (Arusha) කලාපයේ එන්ඩුලෙන් (Endulen) වසමේ එන්ඩුටු (Ndutu) ප්‍රදේශයේ තිබී මෙම සිංහ මළ සිරුරු සොයාගෙන ඇති අතර, උන් යම් විෂ වර්ගයක් ශරීරගත වීමෙන් මියයන්නට ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.
මෙම අමානුෂික සිදුවීමට හේතුව සහ ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා ටැන්සානියානු බලධාරීන් මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
නැගෙනහිර අප්‍රිකානු කලාපයේ වනසතුන් සහ ගොවීන් අතර පවතින උග්‍ර ගැටුම් හේතුවෙන් මෙලෙස සතුන්ට වස දීමේ සිදුවීම් නිතර නිතර වාර්තා වන බව අනාවරණය වුණා.
ටැන්සානියාවේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණයක් වන මෙම රක්ෂිතය සිංහයන්, අලින්, මීහරක් ඇතුළු වඳවීමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ වනජීවීන් රැසකට නිවහනක් වී තිබෙනවා.
මීට පෙර පසුගිය ජනවාරි මාසයේදීද කෙන්යා-ටැන්සානියා දේශසීමාව ආසන්නයේදී වස ශරීරගත වීමෙන් සිංහයින් 6 දෙනෙකු සහ ගිජුලිහිණයන් 30 දෙනෙකු මියගොස් තිබූ අතර, ඉකුත් මාසයේදී කෙන්යා දේශසීමාවේ අලින් 18 දෙනෙකු මියයාමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.