"මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුව ඉටු කරන්න ඒ රියදුරා ඉඩ දුන්නේ නෑ" අනතුරින් මියගිය දඹුල්ල විදුහල්පතිගේ අවසන් කටයුතු අද..
Sunday, 20 September 2026 - 22:54 | Views - 23

අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති, 38 හැවිරිදි ජානක විජේසිංහගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
අද උදෑසන 9.30 ට පමණ ඉනාමලුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව, විශේෂ රථ පෙරහරකින් දේහය ඔහු සේවය කළ දඹුල්ල ජාතික පාසල වෙත රැගෙන එනු ලැබූ බව අප වාර්තාකරු සඳහන් කළා.
ඒ වන විටත් විදුහල්පතිවරයාගේ වියෝව දරාගත නොහැකිව පාසලේ දූ දරුවන්, ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් කඳුළු සලමින් පාසල වෙතට පැමිණ ඔහුට අවසන් ගෞරවය දැක්වූ බව වාර්තාකරු පැවසුවා.
ජීවිතක්ෂයට පත්වූ විදුහල්පතිවරයාගේ ආදරණීය බිරිඳ වන මනෝජා නීලමණී විජේසූරිය සඳහන් කළා.
"මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුව තිබුණේ දඹුල්ල ජාතික පාසලේ ගුරු සේවයේ නිරත වෙලා ඉන්න භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට නේවාසිකාගාරයක් හදලා වස් සමාදම් කරලා මහා ලොකු වස් පින්කමක් කරන්න. ඒ උදාර පින්කම කරන්න ඒ කුරිරු රියදුරා ඉඩ ලබා දුන්නේ නැහැ. අනතුර සිදුවූ දවසේත් එයා ගියේ දඹුල්ල රජමහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේගේ උපන්දිනය වෙනුවෙන් දිළිඳු දරුවන්ට ශිෂ්‍යත්ව දීමේ පින්කමකට.
හැමදාම මොනවා හරි පින්කමක් කරපු එයා එදා හවස මට කතා කරලා කිව්වා 'වැඩ ටික ඉවර කරලා පාසලටත් ගිහින් ගෙදරට බඩු ටිකකුත් අරන් එන්නම්' කියලා. ඒත් රාත්‍රියේ මට ලැබුණේ මේ වේදනාත්මක පණිවිඩයයි.
සමාජයෙන් මම එක ඉල්ලීමක් කරනවා, නොහික්මුණු රියදුරන් ගැන කඩිනමින් අවධානය යොමු කරන්න. නිරපරාදේ මෙහෙම මිනිස් ජීවිත මහ පාරේ විනාශ වෙන්න දෙන්න එපා. ඒ වගේම සමාජ මාධ්‍ය භාවිත කරන අයගෙන් ඉල්ලන්නේ, අනතුරෙන් පස්සේ විකෘති වුණු මගේ මහත්තයාගේ ඡායාරූප සමාජ මාධ්‍යවල ශෙයා කරන්න එපා... ඒක පවුලේ අයට දරාගන්න හරිම අමාරුයි." යනුවෙන් ඇය මෙහිදී පැවසුවා.
දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී පසුගිය 18 වැනිදා අලුයම මෙම ඛේදනීය අනතුර සිදු වුණා.
ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයකට වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට පැමිණ, ඉදිරියෙන් ධාවනය වූ විදුහල්පතිවරයාගේ මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති අතර, පසුව බස් රථය නවතා තිබූ තවත් මෝටර් රථයක්ද යට කරගෙන අසල තිබූ අවන්හලකට කඩා වැදී තිබෙනවා.
අනතුරෙන් විනාඩි 45 කට ආසන්න කාලයක් රථයේ සිරවී සිටි විදුහල්පතිවරයා ප්‍රදේශවාසීන් එකතු වී එළියට ගෙන දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියා.
Share This Article