දියණියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පාවහන් නැතිව දිවූ ඉන්දීය මව.. මුළු සමාජ මාධ්‍යම කැළඹූ කඳුළු කතාව..
තම දියණියන් දෙදෙනාගේ අධ්‍යාපනික අවශ්‍යතා සහ පොත්පත් මිලදී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින්, කිසිදු පාවහනක් පවා නොමැතිව ධාවන තරගයකට එක්වී එය ජයගත් 47 හැවිරිදි ඉන්දීය මාතාවකගේ පුවතක් මේ වන විට මුළු සමාජ මාධ්‍ය ජාලයන්හිම දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බීඩ් දිස්ත්‍රික්කයේ පදිංචි රාමාබායි රන්වීර් නමැති මෙම මව, කිලෝමීටර් 3ක ධාවන තරගයකට සහභාගි වී ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදීයි.
කිසිදු පූර්ව පුහුණුවක් නොමැතිව තරගයට එක්වූ ඇයට පාවහන් පැළඳගෙන ධාවනය කිරීමට අපහසු වූ නිසා, වහාම පාවහන් ගලවා දමා තමන් ඇඳ සිටි සාරියද සකස් කරගනිමින් පාවහන් නොමැතිව දිව ගොස් තිබෙනවා.
අවසානයේ ඇය කාන්තා අවුරුදු 30-60 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.
එම ජයග්‍රහණය වෙනුවෙන් ඇයට ඉන්දීය රුපියල් 3,000ක ත්‍යාග මුදලක් හිමිවූ අතර, එම මුදලින් දියණියන්ට අවශ්‍ය පොත්පත් සහ අධ්‍යාපනික උපකරණ මිලදී ගැනීමට හැකිවීම ඇගේ මහත් සතුටට හේතුවී තිබෙනවා.
2012 වසරේදී සැමියා මියයාමෙන් පසු පවුලේ එකම ආදායම් උපයන්නිය බවට පත් වූ රාමාබායි, වයස අවුරුදු 13දී ඇයට අහිමි වූ පාසල් අධ්‍යාපනය සහ සිහින තම දියණියන්ට ලබාදීමට දැඩි ලෙස උත්සාහ දරන බව වාර්තා වුණා.
BBC පුවත් සේවයට අනුව, ඇගේ ධාවන තරගයේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර යාමත් සමග ඉන්දියාවේ රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය සහ සහන වැඩසටහන් ජනතාව වෙත ප්‍රමාණවත් ලෙස ළඟා නොවීම පිළිබඳවද දැවැන්ත සංවාදයක් නිර්මාණය වී තිබෙනවා.
මූලාශ්‍රය: BBC