බඩල්ගමදී මා ඔයේ දිය නෑමට ගිය අයට අත්වූ ඛේදනීය ඉරණම.. සැඩපහරට හසුවූ සිව්දෙනාම ජීවිතක්ෂයට..
බඩල්ගම ප්‍රදේශයෙන් මා ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු සහ තරුණියන් තිදෙනෙකු සැඩ පහරට හසුවී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් අද (19) පස්වරුවේ වාර්තා වනවා.
මෙම සිදුවීමෙන් පසු අතුරුදහන්ව සිටි සිව්දෙනාගේම සිරුරු සොයා ගැනීමට පොලිසිය මේ වන විට සමත්ව තිබෙනවා.
මෙසේ ඛේදනීය ලෙස මියගොස් ඇත්තේ බදුල්ල සහ හපුතලේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් බඩල්ගම ප්‍රදේශයේ පිහිටි ගොවිපළක සේවය කරමින් සිටි අය බව පොලිසිය සඳහන් කළා.
මෙම ගොවිපළේ සේවය කළ පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙලෙස මා ඔයේ දිය නෑමට ගොස් ඇති අතර, ඒ අතුරින් එක් තරුණයෙකු දියට බැසීමෙන් වැලකී ගොඩබිම රැඳී සිට තිබෙනවා.
අනෙක් සිව්දෙනා දිය නෑමට ගිය අවස්ථාවේදී එක් තරුණියක් හදිසියේම මා ඔයේ සැඩ පහරට හසුව ඇති බව වාර්තා වුණා.
එම අවස්ථාවේදී දිය නාමින් සිටි අනෙක් තරුණයා සහ තරුණියන් දෙදෙනා සැඩ පහරට හසුවූ තරුණිය බේරා ගැනීමට දැඩි ලෙස උත්සාහ කර ඇති අතර, එහිදී ඔවුන් තිදෙනාද අවාසනාවන්ත ලෙස සැඩ පහරට හසුවී දියේ ගිලී තිබෙනවා.